October 27, 2018

රොබෝ ගොවිපළ..!

                    මඩ සෝදා ගත් කල ගොවියා රජ වීමට සුදුසුයි කිව්වට ගොවියා රොබෝ කෙනෙක් වුණොත්? (එහෙම වුණොත් එක අතකින් හොඳයි නෙහ්! ). ඇමරිකාවේ සැන් කාලෝස් හි ඇති ගොවිපළක් පාලනය වෙන්නේ මේ රොබෝ ගොවියන් මගිනි. සාම්ප්‍රධායික වගා කිරීමේ ක්‍රමයෙදි අවුරුදු සියගානක් ගියත් වෙනස් නොවුණු එක් රටාවක් තියෙනවා. ඒ තමයි යම් බෝගයකට අදාල බීජ වපුරා, ගොවියා විසින්ම අස්වනු නෙලා, පසුව ඔහු විසින්ම අලෙවි කිරීමයි. දැන් තියෙන්නෙ ඒ ක්‍රමය වෙනස්වෙන කාලයයි.
Iron Ox ගොවිපළ
                  මේ ගොවිපල අයිති සමාගම තමයි Iron Ox කියන්නෙ. 33 හැවිරිදි Brandon Alexander මේකේ ප්‍රධාන විධායක නිලධාරියා. Iron Ox  වර්ග අඩි 8000 පුරා පැතිරුණු ගෘහස්ථ ගොවිපළක්. සාමාන්‍ය ඵලදාවට වඩා පස්ගුණයක පමණ ඵලදාවක් මේ ගොවිපළෙන් ගන්න පුළුවන් කියලා තමයි කියන්නෙ. මේ ගොවිපළේදී බෝග වගා කරන්නෙ පසේ නෙවෙයි. ඒ වෙනුවට ඛණිජ හා අනෙක් පෝෂක දියකරන ලද ද්‍රාවණයක මේ පැල වගා කෙරෙනවා. සාම්ප්‍රදායි ගොවිපල වල පොලොවේ වගා කරනු වෙනුවට මේ පැලෑටි ද්‍රාවණයේ සිරස් හා තිරස් අතට වගා කෙරෙනවා. ඉර එළිය වෙනුවට මේ ගොවිපළේ පැලවලට ආලෝකය දෙන්නේ LED වලින්. ඒ හැම දේම ශාකවල හැඩය, පැහැය වගේම ප්‍රමාණයට සරිලන විදිහට පාලනය කරලා ලබා දෙනවා.

රොබෝ ගොවියා
              Iron Ox හි කටයුතු කරන්න ඉන්න රොබෝ ගොවියා තමයි Angus කියන්නෙ. Angus ගෙ බර රාත්තල් 1000 විතර වෙනවා. Angus රොබෝ ගේ රාජකාරිය වෙන්නෙ රාත්තල් 800 විතර බර වතුර පිරුණු ටියුබ්, රාක්ක එහා මෙහා ගෙනයන එකයි. මේ රොබෝවේ තියෙන බාහුවෙන් පැල එකින් එක එහා මෙහා ගෙනියන්න පුළුවන්.

අමිහිරි ගිම්හානය
           ඇලෙක්සැන්ඩර් කුඩා කාලයේදී හැම ගිම්හාන ඍතුවකම ඔහුගේ සීයාගේ ගොවිපළට යාමට සිදුවෙලා තිබුණා. ඒත් ඒක ඇලෙක්ස් ට නම් එච්චර සතුටුදායක වුණේ නෑ. ගිම්හාන කාලයට ඔහුගේ යාලුවන් නිවාඩුවට පිටත් වෙද්දි ඔහුට ගොවිපළක ඉන්නට වුණා. යහළුවන් දවල් වෙනකම් නිදාගන්නකොට ඇලෙක්ස්ට කුකුළා හඬන පාන්දරින් අහරින්න වුණා. ඔවුන් වෙරලේ සෙල්ලම් කරනකොට ඇලෙක්ස්ට ට්‍රැක්ටරයක් මත කාලය ගත කරන්න වුණා. මේ දේවල් නිසා ඇලෙක්ස්ට ගොවිපළේ ජීවිතය නීරස වෙලා තිබුණා. පස්සෙ කාලෙකදී ඔහු Jonathan Binney එක්ක එකතුවෙලා Iron Ox සැලසුම් කලා. 
                      ඒ වගේම මේ රොබෝවරුන් පාලනය කරන ඔහු හැදූ ගොවිපල ගැන ඔහුගේ සීයාට කියන්නත් ඇලෙක්ස් අමතක කලේ නෑ. ඇලෙක්ස්ගෙ සීයාට දැන් වයස අවුරුදු 83 ක් වෙනවා වගේම තවමත් සිය ගොවිපළ පවත්වගෙන යනවා. ඒ උනත් ඇලෙක්ස් ගොවිතැනට අකමැති කෙනෙක් නෙවෙයි.

අරමුණ
         රටක් ඇතුලේ මිනිසුන් වැඩි කොටසක් ඉන්නෙ නගරවල වුණත් ආහාර සඳහා වෙන බෝග වගා කරන ගොවිපළවල් තියෙන්නෙ නගරයෙන් තරමක් ඈතට වෙන්න ගම්බදවයි. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයෙන් නියමිත වෙලාවට සැපයුම් ලබා ගන්න අපහසු වෙනවා. ඒ වගේම සමහර වෙලාවට වැඩක් නොගෙන ඉවත දාන්නත් වෙනවා.එහෙම කියලා නගර මැද්දෙ කුඹුරු හදන්න බෑනේ. හැබැයි මේ  Iron Ox ගොවිපළේදී  ඉඩකඩ අඩුවෙන් වැයවෙන නිසා වගේම කටයුතු ස්ව්‍යංක්‍රීයව වෙන නිසා නගරයට හොඳටම ගැලපෙනවා.
         මේ විදිහට අවශ්‍ය වෙලාවට නිෂ්පාදන ලබා දීම just-in-time farming විදිහට හඳුන්වනවා. ඒ ක්‍රමය ජපානයේ ටොයෝටා සමාගමේ just-in-time කියන ක්‍රමය අනුව සැකසූවක්. මේ නිසා ප්‍රමාණය ඉක්මවා හෝ හිඟයක් හෝ ඇති නොවී අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදන ලබාදෙන්න පුළුවන්. සාම්ප්‍රදායි හරිතාගාරවල වගා කරන කොට පැලෑටි සියල්ලට පොදුවේ සැලකුවත් Iron Ox වලදී එක් එක් පැලයට වෙන වෙනම අවධානය යොමු කරන්න පුළුවන්. ඒ නිසා ඉල්ලුමට හරියන විදිහට සැපයුම දෙන්න පුළුවන්.

AI තාක්ෂණයේ බලය
           මේ සම්පූර්ණ ගොවිපළම ක්ලවුඩ් තාක්ෂණයෙන් බලගැන්වූ කෘතිම බුද්ධි වැඩසටහනකින් පාලනය වෙනවා. ගොවිපළේ ඇති ඔක්සිජන්, නයිට්‍රජන් වැනි වායු ප්‍රමාණය, උෂ්ණත්වය වගේම රොබෝවන්ගේ ස්ථානය වගේම ලැබෙන ඇණවුම් ප්‍රමාණය ද නිරීක්ෂණය කර ඒ අනුව ගොවිපළ පාලනය කරනු ලබනවා. 
           

October 17, 2018

Youtube හදිසියේ බිඳවැටේ!

                                   ඊයේ දවසේ රෑ 10.35 විතර යූටියුබ් වෙබ් අඩවියේ සේවාවන් වන යූටියුබ් ටීවී, මියුසික් හා වෙබ් අඩවියේ අනෙක් සේවා වලට පිවිසීමට නොහැකිව ගියා. පැයක කාලයක් පමණ තිබූ මේ දෝෂය යූටියුබ් වල සර්වර් වල දෝෂයක් ලෙසයි පෙන්නුම් කරේ.
                             දෝෂය වුණ වෙලාවේ යූටියුබ් භාවිතා කරන්නන්ට එයට පිවිසෙන්න බැරිවුණා. ඒ වෙනුවට සර්වර් වල දෝෂයක් ඇති බව දැක්වෙන පණිවිඩයක් දිස්වුණා.යූටියුබ් විසින් මේ දෝෂය ඉක්මනින්ම යතා තත්වයට පත්කරන බව ට්විටර් හීද පල කර තිබුණා.
           ගූගල් සේවා අතරින් යූටියුබ් දිගු වේලාවක් ක්‍රියාවිරහිත වෙන එක ගොඩක් දුර්ලභ දෙයක්. මීට කලින් මේ අවුරුද්දේ ජූලි මාසයේදී ලෝක පාපන්දු ශූරතාව අතරතුරේදී  යූටියුබ් ටිවී සේවය බිඳවැටුනා. ඒ වගේම මේ අවුරුද්දේම අප්‍රේල් මාසයේදීත් යූටියුබ් චැනල් සේවය බිඳ වැටුනා. කොහොම වුණත් දෝෂයට හේතුව හැකර් ප්‍රහාරයක්ද එහෙමත් නැත්නම් මෘදුකාංඟ වල දෝෂයක්ද යන්න තවමත් ගූගල් සමාගම හෙලිකරලා නෑ.

October 12, 2018

ජංගම දුරකථන පිලිකා බිය

                    දැන් දින කීපයක ඉඳන් "සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය" මගින් නිකුත් කර ඇති බව සඳහන් මාධ්‍ය නිවේදනයක් හුවමාරු වෙනවා. මේ නිවේදනයේ තියෙන්නේ "ජංගම දුරකතන සහ පරිගණක ආශ්‍රිත උපාංග මගින් ඇතිකරන විද්‍යුත් චුම්බක තරංග වලට නිරන්තරයෙන් නිරාවරණය වීම සෞඛ්‍ය ගැටලු ඇති කරයි" යන කරුණයි. ඇත්තටම ෆෝන් වල රේඩියෝ තරංඟ සෞඛයට අහිතකරද?

විද්‍යුත් චුම්බක තරංග ගැන

                ඇහැට පෙනුනෙ නැති වුණාට අපි ඉන්නෙ විද්‍යුත් චුම්බක තරංග වලින් ගිලිලා. දුරකතන සංඥා, ටීවී, රේඩියෝ වල වගේම අනෙක් උපකරණ වලින් නිකුත්වෙන මේ තරංග හැමතැනම තියෙනවා.හැම දේකම හොඳ දේ වගේම නරකත් තියෙන වගේ මේ විද්‍යුත් චුම්බක තරංග වලත් නරක පැත්තක් තියෙනවා. විද්‍යුත් චුම්බක තරංග පරාසය අතර එක් තරංඟ පරාසයක් (1x1013Hz) ශරීරයට අහිතකර නොවුණත් එයින් එහාට ඇති තරංග පරාසයේ  (1x1016Hz) තරංඟ වලට ඇති ඉතා ඉහල අයණීකරන හැකියාව (අණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ගැලවිය හැකි) නිසා ඒවා ශරීරයට නිරාවරණය වීම තුලින් සම පිලිස්සීම වගේම පිළිකා වැනි දරුණු රෝගාබාධ ඇති වෙන්න පුළුවන්.

(The electromagnetic spectrum. Image courtesy of ARPANSA)


ෆෝන් වලට අයිති කොටස

                  මේ සංඛ්‍යාත අතරින් මොබයිල් ෆෝන් විමෝචනය කරන්නේ හා ලබා ගන්නේ 800MHz-2600MHz පරාසයේ සංඛ්‍යාතයි. ඉතිං මේ සංඛ්‍යාත පරාසය අයිති වෙන්නෙ අයණීකරනය කිරීමට තරම් ශක්තියක් නොමැති හානියක් නොමැති කොටසටයි. ඒ නිසා මිනිස් සෛල වලට බලපෑමක් කරන්න පුලුවන්කමක් නැහැ. අපිට පෙනෙන ආලෝකය, අධෝරක්ත කිරණ වගේම ක්ෂුද්‍ර තරංඟ අයිති වෙන්නෙ මේ ගොඩටම තමයි.
                නමුත් මේ අයණීකරන හැකියාව නැති විද්‍යුත් චුම්බක තරංග මගින් තාපය ජනනය කිරීමේ හැකියාව පවතී. කවුරුත් දන්න මයික්‍රෝවේව් අවන් එක වැඩකරන්නේ මේ සිද්ධාන්තය මගිනුයි. ඒ වෙනුවෙන් වොට් 600-1000 ක් අතර ශක්තියක් ලබාගන්නවා. ඒත් මොබයිල් ෆෝන් එකකින් ජනනය කරන්නේ වොට් දෙකකටත් වඩා අඩු ශක්තියකි.

SAR අගය

         එක් එක් දුරකථනය මගින්, එය භාවිතා කරන පුද්ගලයාට උරාගන්නා ශක්තිය (RF Energy) කොපමණ ද යන්න මනින්නට SAR (specific absorption rate) අගය භාවිතා කරනවා. මේ අගය දුරකතනයෙන් දුරකතනයට වෙනස් වෙනවා. දුරකතන නිෂ්පාදකයින් සිය දුරකතන FCC (US Federal Communications Commission) යට ඉදිරිපත් කර මෙම අගය ලබා ගත යුතු වෙනවා. ඒ අගය නිෂ්පාදකයාගේ වෙබ් අඩවියේ හා නිෂ්පාදනය සමග ලබාදිය යුතු වෙනවා. ඇමරිකාවේ මෙහි උපරිම අගය කිලෝගරෑමයට වොට් 1.6 ක් වෙනවා. ලංකාවේදීත් මේ අගය 1.6Wkg-1 වෙනවා.
                     ඒත් මේ SAR අගයද නොමග යවනසුලු අගයක් බව FCC හි අදහසයි. ඒකට හේතුව වෙන්නේ දුරකතනයක උපරිම SAR අගය එය සැබෑවටම පරිශීලකයා එය භාවිතා කරන විට ඇති අගයන් අතර වෙනස් කම් ඇති වීම එයට හේතුවයි. උදාහරණයක් විදිහට යම් දුරකතනයක් හොඳින් signal ලැබෙන තැනක තියෙනවාට වඩා වැඩි බලයක් යොදා signal අඩු තැනකදී ක්‍රියාත්මක වේ.

මොළයේ ගෙඩි හැදෙන්න බලපානවාද?

                    දුරකතනයක් භාවිතා කරන කොට ඒක කණට තියලා කතා කරන නිසා ශරීරයේ අනෙක් තැන් වලට වඩා වැඩියෙන් මොළයට වැඩි බලපෑමක් කරන්න ඉඩ තියෙනවා. ඉතිං මේ ගැන ඇමරිකාවේ පිළිකා පිළිබඳ සංගමය කල පරීක්ශණයක් ගැන වාර්ථාවක් පළවෙලා තියෙනවා. ඒකට අනුව මීයන් හා රේඩියෝ සංඥා යොදාගෙන කල පරීක්ෂණයකදී පිලිකා සෛල ඇති වීමට ඉඩකඩ ඇති බව සොයාගත්තත් ඒ ගැන නිශ්චිතවම කීමට නොහැකි වී ඇත්තේ ඇතැම් සත්තුන් හට මෙය බල නොපා තිබෙන නිසයි.
                   එසේම මේ පරීක්ෂණයේදී හඳුනගත් දෙයක් වන්නේ කෙනෙකු දුරකතනයක් භාවිතා කරන විට එහි ඇන්ටනාව අසල මොළයේ පටකවල අසාමාන්‍ය හැසිරීමක් ඇතිවන බවයි. නමුත් එයින් අහිතකර බලපෑමක් සිදුවන බව සඳහන් නොවිනි.

              ගැටලුව නම්  "සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය" මගින් නිකුත් කර ඇති බව සඳහන් මාධ්‍ය නිවේදනයේ  "ජංගම දුරකතන සහ පරිගණක ආශ්‍රිත උපාංග මගින් ඇතිකරන විද්‍යුත් චුම්බක තරංග වලට නිරන්තරයෙන් නිරාවරණය වීම සෞඛ්‍ය ගැටලු ඇති කරයි" යන නිගමනයට ඒමට කරන ලද හෝ මූලික වූ පර්යේෂනය කුමක්ද යන්න තවමත් පැහැදීලි නැති වීමයි. ප්‍රමිතියෙන් ඉතා බාල  දුරකතන ආනයනයට ඉඩදී ඒවා ඉරිදා පොලේ විකිණිනෙන මේ කාලේ ඒ උපාංග වලින් මිනිසුන් ලෙඩ වීමත් පුදුමයක් නෙවෙයි.

එකතුවෙන්න...

 
         
 

tech එකේ ඉන්න අය

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

tech සයුර Copyright © 2014 - All rights reserved.