December 20, 2018

පික්සල් බිලියන 24ක චීන පින්තූරේ

                                       දැන් ටික දවසක් ඉදලා ෆේස්බුක්, ට්විටර් වගේම වෙබ් අඩවි වල පවා "ක්වන්ටම් තාක්ෂණයෙන් චීන සැටලයිට් එකකින් ගත්ත" පික්සල් බිලියන 24.9 ක ඡායාරූපයක් කියලා එකක් ලින්ක් එකකුත් එක්ක හුවමාරු වෙනවා දකින්නට ඇති. ඒත් ඇත්තටම මේක ගත්තේ සැටලයිට් එකකින් ද?

අරුම පුදුම පින්තූරෙ
             මේ විදිහට හුවමාරු වුණේ චීනයේ ෂැන්හයි නගරයේ කුරුලු ඇසකින් පෙනෙන අයුරින් සැකසූ 3600 ක ප්‍රමාණයක් දර්ශණය වෙන පැනොරාමා ඡායාරූපයක්. මේකෙ විශේෂත්වය තමයි මේකෙන් නගරයේ දර්ශණය වෙන ඕනෑම ඈතින් තියෙන තැනක් වුණත් ඉතා පැහැදිලි වෙන විදිහට විශාල කරලා බලන්න පුළුවන් වුණ එකයි. කොච්චර පැහැදිලිද කියනවනම් මේකෙන් පෙනෙන වාහන වල අංක තහඩු වල අංක වුණත් කියවන්න පුළුවන්, ගමන් කරන මිනිස්සුන්ගේ මූණ පවා අඳුරගන්න පුළුවන්. http://sh-meet.bigpixel.cn කියන ලින්ක් එකෙන් මේ ඡායාරූපෙ ඕනෙ කෙනෙක්ට බලන්න පුලුවන්. ගිහින් විශාල කරලා බලනකොට තේරේවි කොච්චර පැහැදිලිද කියලා.

කොහොමද මෙහෙම පැහැදිලි වෙන්නේ?
                         මේ තරමට පැහැදිලි වෙන්න හේතුව තමයි මේ රූපය හැදිලා තියෙන්නෙ පික්සල් බිලියන 24.9 ක විභේදනයකින් වීම. පික්සල් එකක් කියන්නේ ඩිජිටල් විදිහට හැදෙන රූපයක කුඩාම අගයයි. ඉතිං ඒ වගේ රූපෙක තියෙන පික්සෙල් ගාන වැඩිවෙන්න, වැඩිවෙන්න රූපයේ පැහැදිලි බව වැඩි වෙනවා. මේක පික්සල් ඝණත්වය විදිහට (Pixel Density) කියලා හඳුන්වනවා. 
                  ඡායාරූපෙ පැහැදිලි වෙන තරමටම ඒ වෙනුවෙන් යන ඉඩ ප්‍රමාණයත් වැඩි වෙනවා (සාමාන්‍ය කැමරා ෆෝන් එකකින් ගන්න ෆොටෝ වලට වඩා පික්සල් ගණන වැඩි ෆෝන් එකකින් ගන්න ෆොටෝ වැඩි මතකයක් ගන්නේ ඒ නිසයි). ඒ වගේම මේ නගරයේ ගත්ත ඡායාරූපයෙත් ධාරිතාව ගිගාබයිට් සියගණනක් වෙනවා.

සැටලයිට්, ක්වන්ටම් ලෝක බොරුව!
                       මේ ඡායාරූපය ගන්න අවශ්‍ය තාක්ෂණය දීලා තියෙන්නෙ චීනයේ Jingkun Technology (http://bigpixel.cn/) සමාගමයි. අලුත් ලෝකයට ගැලපෙන විදිහට ක්ල්වුඩ් තාක්ෂණය යොදාගෙන ඡායාරූප ගන්න Jingkun Technology සමාගමට හැකියාව තියෙනවා. 2015 වසරේදී ෂැන්හයි නගරයේ පුවත් කාර්‍යාලයෙන් කරපු ඉල්ලීමකට අනුව තමයි මේ වැඩේ කරලා තියෙනේ.ඡායාරුපය ගන්න යොදාගෙන තියෙන්නෙ නගරයේ තියෙන ප(ර්)ල් (Oriental Pearl Tower in China) කියන සන්නිවේදන කුළුණයි (සැටලයිට් නෙවෙයි හොඳේ!). 
                     සමාගමට අනුව මේ සම්පූර්ණ රූපය පික්සල් බිලියන 195 කින් යුතු වෙනවා. මේ ගත්ත පින්තූරය ආසියාවේ විශාලතම, ලෝකයෙන්ම තුන්වෙනියට විශාල ඡායාරූපය වෙනවා. මේ පැනොරාමා පින්තූරය සාමාන්‍ය කැමරාවකින් ගන්නවාට වඩා 2000 ගුණයක අගයක් තියෙන පින්තූර රාශියක එකතුවක් වෙනවා. කලින් කිව්වා වගේම මේකට කිසිම සැටලයියට් තාක්ෂණයක් යොදා ගෙන නෑ. අධි විභේදන කැමරා වලින් ගත්තු ඡායාරූප විශේෂ තාක්ෂණයක උදව්වෙන් එකට එකතු කිරීමක් විතරයි කරලා තියෙන්නේ.ඒ හින්දා මේ ගැන ට්විටර් වල දාපු පෝස්ට් පවා වෙනස් කරන්න වෙලා තියෙනවා.
ලස්සන වගේ නෙවෙයි ඉතිං ප්‍රශ්ණ ආවම
                   මේ ෆොටෝ එකේ ලස්සන වගේම තව ලොකු ගැටලුවකුත් මතුවෙලා තියෙනවා. මේ විදිහට කිලෝමීටර් ගණනක් ඈතින් ඉන්න අයව වුණත් ඉතා පැහැදිලිව බලාගන්න පුළුවන් නිසා වැරදි කෙනෙක් අතට ගියෝතින් ඒ අයගේ පෞද්ගලිකත්වයට තර්ජනයක් වෙන්න පුළුවන්. මේ ගැන පියවර ගන්නත් දැන් චීනයට සිදුවෙලා.

November 27, 2018

පෙති නැති ගුවන් යානා

                                    ගුවන් යානයක් කිව්වම ඉස්සරහින් හරි , තටු දෙකේ හරි එන්ජින් දෙකකට සම්බන්ද වුණු අවරපෙති දෙකක් එක්ක ලොකු ශබ්ධයක් ඇති කරගෙන අහසට එසවෙන විදිහෙ  හිතේ මැවෙන එක රූපයක් තියෙනවා. දැනට අවුරුදු 100 කට කලින් ගුවන් යානය හොයාගත්තු කාලෙ ඉඳලාම ගුවන් යානය මේ විදිහට ඉන්ධන වලින් හරි, බැටරි වලින් හරි ක්‍රියාත්මක වෙන අවරපෙති වලින් නැත්නම් ෆෑන් වලින් ගන්න සුළඟේ පීඩන බලයෙන් තමයි ගුවන් යානය ගමන් කලේ.
                                          ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ (MIT - Massachusetts Institute of Technology) ඉංජිනේරු කණ්ඩායමක් ගුවන් යානයේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න සමත් වෙලා තියෙනවා. ඔවුන් සැලසුම් කරපු ගුවන් යානයේ එන්ජිමක් හරි වෙනින් කිසිම සෙලවෙන කොටසක් ඇතුලත් වෙන්නෙ නෑ. ඒ වෙනුවට ගුවන් යානයට අවශ්‍ය බලය ලබාගන්නේ අයනික වාතය (ionic wind) මගිනුයි. ඒ නිසා සම්පූර්ණයෙන්ම නිශ්ෂබ්ධයි. ඒ වගේම ඇන්ජින් වගේ සංකීර්ණ උපාංග නැති නිසා ගොඩක් සරල වගේම ඉතා සැහැල්ලුයි.
                                            MIT හි ගගන විදයාව ගැන මහාචාර්‍යය කෙනෙක් වෙන ස්ටීවන් බැරට් කියන විදිහට ඔහුට මේ අදහස ඇවිත් තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධයක් වුණු Star Trek කතා මාලාවේ තිබූ යානා මගිනුයි. බැරට් මේ ගැන පරීක්ශණ කරන්න පටන් ගෙන තිබුණේ මීට අවුරුදු 9 කට විතර කලින් ඉඳලයි. කිසිම චලනය වන කොටසක් නැතිව ගුවන් යානයකට අවශ්‍ය ප්‍රචාලන ශක්තිය ලබාදෙන ක්‍රමයක් ගැන සොයමින් සිටියා. ඒ වෙලාවෙදි 1920 දී සොයාගත්ත භෞතික විද්‍යා මූලධර්මයක් වෙන ionic wind නැත්නම් electroaerodynamic thrust (ගතික විද්යුත් තෙරපුම?) මේ පරීක්ෂණයට යොදාගන්න පටන්ගත්තේ. සරල විදිහට කිවුවොත් සිහින් දිගැති එකක් අනෙකට වඩා කුඩා ඉලෙක්ට්‍රෝඩ දෙකකට අවශ්‍ය විදුලිය සැපයුවාට පස්සෙ ඉලෙක්ට්‍රෝඩ දෙක හරහා ගමන් ගන්නා වාතය උපයෝගී කරගෙන ගුවන් යානයට අවශ්‍ය තෙරපුම් බලය ලබා ගන්න පුළුවන්.
                        වසර ගණනාවක් මේ තාක්ෂණය උපයෝගී කර ගත්තේ කුඩා විනෝදාත්මක උපකරණ සෑදීමටයි. නමුත් මගීන් ගෙන යන තරමේ විශාල ගුවන් යානා ගමන් කරවීමට තරම් බලයක් ලබා ගැනීමට හැකියාවක් තිබුණේ නෑ. ඉතිං මේ තාක්ෂණය ඒ වගේ හැකියාවක් තියෙන තත්වයට ගේන්න ලොකු මහන්සියක් වෙන්න බැරට් ඇතුලු කණ්ඩායමට සිදුවුණා. ඒ වගේම මේ වෙනුවෙන්  කිලෝවොට් සිය දහස් ගණනක බලයක් උවමනා වෙනවා. ඒ නිසා ඒ බලය ලබාගන්න බැටරි හෝ සූර්‍ය කෝෂ පද්ධති යොදා ගන්න වෙනවා.
                                මේ ගැන කරපු පරීක්ෂණ උපයෝගී කරගෙන රාත්තල් 5 ක් පමණ බර මීටර් 5 ක් පමණ දිග තටු යුගලක් තියෙන ග්ලයිඩරයක් හදලා තියෙනවා. මේ ග්ලයිඩරයේ ඉදිරිපස තටු අතර සිහින් කම්බි පෙලක් තියෙනවා. ඒක වැඩ කරන්නෙ ධන ඉලෙක්ට්‍රෝඩය විදිහටයි. ඍණ අග්‍රය විදිහට වැඩ කරන්න පිටුපස තටුවේ තරමක් ඝණකම ඉලෙක්ට්‍රෝඩයක් තියෙනවා. බලය ලබා ගන්න ඕනි වෙන ලිතියම්-පොලිමර් බැටරි අසුරලා තියෙන්නෙ ගුවන් යානයේ රාමුවේ. මේ ගුවන් යානයේ ක්‍රියාකාරිත්වයට අධි වෝල්ටීයතාවක් ඕනි වෙන නිසා බැටරි වල බලය අධි වෝල්ටීයතාවකට පරිවර්තනය කරන්න අවශ්‍ය සැහැල්ලු උපාංගය සෑදුවේ ඉලෙක්ට්‍රොනික පරීක්ෂණ විද්‍යාගාරයේ මහාචාර්‍ය ඩේවිඩ් පෙරොල්ට්ස් විසිනුයි. ඒ පරිවර්තකයෙන් බැටරියේ බලය වෝල්ට් 40,000 ක ආරෝපණයක් ඇතිකරන්න හැකියාව තියෙනවා.
                                 වයර් වලට බලය ලබා දුන්නාට පස්සේ වාතයේ තියෙන ඍණ ආරෝපිත වා අණු වේගයෙන් තල්ලු කර දැමීමේ හැකියාව ලැබෙනවා. ඉදිරිපසින් අයනීකරණය වුණු වා අණු පසුපස තියෙන ඉලෙක්ට්‍රෝඩයෙන් ඇදගනු ලබනවා. මේ ආකාරයෙන් වේගයෙන් ගමන්කරන වා අණු නිසා ගුවන් යානයට ඉදිරියට යන්න බලය ලැබෙනවා. පරීක්ෂණය කරපු ග්ලයිඩරයට මීටර් 60 ක දුරක් (පරික්ෂණය කරපු ගොඩනැගිල්ලේ උපරිම දුර) ඉතා පහසුවෙන් ගමන්කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ විදිහට කරපු පරික්ෂණ වාර 10 ම සාර්ථක වෙලා තියෙනවා. 
                                        මේ පරික්ෂණ යොදාගෙන විශාල ගුවන් යානා නිෂ්පාදනය කරනවා නම් ඒවාට විශාල ඉලෙක්ට්‍රෝඩ වගේම බලසැපයුම් පද්ධති සැකසිය යුතු වෙනවා. ඒ වගේම භෞතික විද්‍යා මූලධර්ම ගැන, ආරක්ෂාව ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි වෙනවා.මේ නිසා ප්‍රායෝගික විදිහට විශාල ප්‍රමාණයේ ගුවන් යානයක් එළිදැකීමට තව බොහෝ කාලයක් ගතවේවි.

November 20, 2018

හෙළකුරේ පරිගණක ආගමනය

                                  ස්මාර්ට්ෆෝන් එකක් තියෙන කෙනෙක් නම් හෙළකුරු ගැන නොදන්නවා නම් ලොකු පුදුමයක්. ඇන්ඩ්‍රොයිඩ්  වලදි හරි ඇපල් වලදි හරි සිංහලෙන් ටයිප් කරන්න උදව් වෙන ඇප් එක තමයි හෙළකුරු කියන්නෙ. හෙළකුරු ස්මාර්ට් ෆෝන් එකට තිබුණත් පරිගණකයට සම්පූර්ණයෙන් නිම කරපු සංස්කරණයක් ලබාදීලා තිබුණෙ නෑ. ඒත් මීට දින කීපයකට කලින් පරිගණකයටත් හෙළකුරු ලැබුණා!
 
                                 හෙළකුරු පරිගණකයට දෙන්න භාෂා ආයතනය පටන් ගත්තේ අවුරුද්දකට විතර කලින් ඉදන්මයි. ක්‍රෝම් වෙබ් බ්‍රවුසරයට එන එක්ස්ටෙන්ෂන් එකක් විදිහට තමයි මුලින්ම හෙළකුරු ආවේ. ඒ වෙබ් අඩවි වලදී සිංහල භාවිතය පහසු වෙන්න.
                                පරිගණකයේදී සිංහල ඕනි නම් විජේසේකර යතුරුපුවරුව ස්ථාපනය කරගන්න ඕනි. ඒත් ඒකට අලුත් කෙනෙක් නම් ටයිප් කරන්න ටිකක් අමාරු වෙනවා. ඒත් හෙළකුරු වලින් ඒ ක්‍රමයට අමතරව සිංග්‍රීසි ක්‍රමයටත් ටයිප් කරන්න පුළුවන් නිසා ඒ අපහසුව නැති වෙනවා. හෙළකුරු වින්ඩෝස්, මැක් වගේම ලිනක්ස් වලටත් ගන්න පුළුවන්. https://www.helakuru.lk ට ගියාම මේ සොෆ්ට්වෙයා එක ලබා ගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරන්න ගියාම PERSONAL USE / COMMERCIAL USE කියලා සංස්කරණ දෙකක් තියෙනවා COMMERCIAL USE ඒ කියන්නෙ වාණිජ වශයෙන් තියෙන එක රුපියල් 1990.00 වෙනවා. PERSONAL USE එක නම් නොමිළයේම ලබා ගන්න පුලුවන්. ඒත් කැමති කෙනෙක් ඉන්නවා නම් රුපියල් 990.00 ක් දීලා ගන්නත් පුලුවන්. ඒකෙන් මේ මෘදුකාංගය තව තවත් දියුණු කරන්නට ශක්තියක් වේවි.
                                 තවම අලුත් නිසා සුලු සුලු අඩුපාඩු වගේම දෝෂ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම සමහර මෙහෙයුම් පද්ධති වල වැඩ නොකරන්නත් ඉඩ තියෙනවා. ඒ දෝෂ ඉදිරි සංස්කරණ වලදී නිවැරදි කර පැමිණේවි. මේ වගේ වටිනා මෘදුකාංග නිර්මාණය කිරීම විතරක් නෙවෙයි ඒවා නොමිළයේම ලබා දෙන භාෂා ආයතනයටත් එහි ප්‍රධානියා වෙන ධනික පෙරේරා ටත් ස්තූතිවන්ත විය යුතුයි.

November 9, 2018

අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් - 4

                   අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් කරන හැටි ගැන මීට කලින් පෝස්ට් කීපයක් tech සයුරෙන් කියලා දුන්නා. මේ කියන්න යන්නෙත් ඒ ප්‍රොජෙක්ට් එකට උදව්වක් වෙන අඩුවට හොයා ගන්න පුළුවන් සෝලා චාජර් එකක් ගැනයි.
                    මේ චාජර් එක ගෙන්නුවේ Ali express එකෙන්. මේකේ ප්‍රමාණය 120*65.5*1.5mm විතර ඇති. ඒ කියන්නෙ ප්‍රමාණයෙන් කුඩා ඉඩක තියන්න හරි ඇණ තවු වලින් බිත්තියක හයි කරලා තියාගන්න හරි පුළුවන්. 12V/24V Auto Switch නිසා බැටරිය 12V උනත් 24V උනත් කිසිම ගැටලුවක් නැතුව චාජරය වැඩ කරනවා.
                මේ චාජර් එක ඩිජිටල් එකක්. ඒ නිසා බැටරිය චාජ් කරන්න PWM (Pulse Width Modulation - ස්පන්දයක පළල සැකැස්ම) විදිහට. ඒ නිසා බැටරිය Over Charge වෙන්නෙ නෑ. බැටරියේ ආරක්ෂාවට Short Circuit Protection, Over Load Protection තියෙනවා. 5V USB Power Outlet 2 න් මොබයිල් ෆෝන් චාර්ජ් කරගන්න පුළුවන්.
             බැටරිය චාර්ජ් වෙන එක, චාර්ජ් වෙලා තියෙන ප්‍රමාණය බලන්න, චාර්ජ් වෙන්න ඕනි වෝල්ට් ප්‍රමාණය, Overload වෙනකොට Disconnect වෙන්න ඕනි වෝල්ට් ප්‍රමාණය ට අදාල සැකසුම් අපිටම හදාගන්න පුළුවන්.
           චාර්ජර් එක හයි කරන විදිහ ගැන එවන පෙට්ටියෙම තියෙනවා. සරලව ඒක කරන්නෙ මෙහෙමයි. මුලින්ම චාර්ජර් එක බැටරියට කනෙක්ට් කරලා දෙවෙනියට පැනල් එක කනෙක්ට් කරන්න ඕනි. අන්තිමට තමයි output එකෙන් උපකරණ සම්බන්ධ කරන්නෙ.

            දැනට මාස දෙකක් විතර ටෙස්ට් එකකට පස්සෙ මේ පෝස්ට් එක දාන්න හිතුනේ මේ ඩිවයිස් එක හොඳට වැඩ කරනවද කියලා බලන්න ඕනි නිසයි. ලංකාවෙ මුදලින් රු.1,140 ක් විතර වෙනවා. ගානෙ හැටියට නම් සෑහෙන්න වටිනවා. බැටරියේ ප්‍රමාණය අනුව 10A,20A,30A ධාරාවන් වලින් ගන්න පුළුවන්. මේ වගේ සොලා චාජර් එකක් හොයපු කෙනෙක් ඉන්නවන්ම් මෙතනින් ගිහින් ගන්න පුළුවන්.

අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් - 1
අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් - 2
අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් - 3

October 27, 2018

රොබෝ ගොවිපළ..!

                    මඩ සෝදා ගත් කල ගොවියා රජ වීමට සුදුසුයි කිව්වට ගොවියා රොබෝ කෙනෙක් වුණොත්? (එහෙම වුණොත් එක අතකින් හොඳයි නෙහ්! ). ඇමරිකාවේ සැන් කාලෝස් හි ඇති ගොවිපළක් පාලනය වෙන්නේ මේ රොබෝ ගොවියන් මගිනි. සාම්ප්‍රධායික වගා කිරීමේ ක්‍රමයෙදි අවුරුදු සියගානක් ගියත් වෙනස් නොවුණු එක් රටාවක් තියෙනවා. ඒ තමයි යම් බෝගයකට අදාල බීජ වපුරා, ගොවියා විසින්ම අස්වනු නෙලා, පසුව ඔහු විසින්ම අලෙවි කිරීමයි. දැන් තියෙන්නෙ ඒ ක්‍රමය වෙනස්වෙන කාලයයි.
Iron Ox ගොවිපළ
                  මේ ගොවිපල අයිති සමාගම තමයි Iron Ox කියන්නෙ. 33 හැවිරිදි Brandon Alexander මේකේ ප්‍රධාන විධායක නිලධාරියා. Iron Ox  වර්ග අඩි 8000 පුරා පැතිරුණු ගෘහස්ථ ගොවිපළක්. සාමාන්‍ය ඵලදාවට වඩා පස්ගුණයක පමණ ඵලදාවක් මේ ගොවිපළෙන් ගන්න පුළුවන් කියලා තමයි කියන්නෙ. මේ ගොවිපළේදී බෝග වගා කරන්නෙ පසේ නෙවෙයි. ඒ වෙනුවට ඛණිජ හා අනෙක් පෝෂක දියකරන ලද ද්‍රාවණයක මේ පැල වගා කෙරෙනවා. සාම්ප්‍රදායි ගොවිපල වල පොලොවේ වගා කරනු වෙනුවට මේ පැලෑටි ද්‍රාවණයේ සිරස් හා තිරස් අතට වගා කෙරෙනවා. ඉර එළිය වෙනුවට මේ ගොවිපළේ පැලවලට ආලෝකය දෙන්නේ LED වලින්. ඒ හැම දේම ශාකවල හැඩය, පැහැය වගේම ප්‍රමාණයට සරිලන විදිහට පාලනය කරලා ලබා දෙනවා.

රොබෝ ගොවියා
              Iron Ox හි කටයුතු කරන්න ඉන්න රොබෝ ගොවියා තමයි Angus කියන්නෙ. Angus ගෙ බර රාත්තල් 1000 විතර වෙනවා. Angus රොබෝ ගේ රාජකාරිය වෙන්නෙ රාත්තල් 800 විතර බර වතුර පිරුණු ටියුබ්, රාක්ක එහා මෙහා ගෙනයන එකයි. මේ රොබෝවේ තියෙන බාහුවෙන් පැල එකින් එක එහා මෙහා ගෙනියන්න පුළුවන්.

අමිහිරි ගිම්හානය
           ඇලෙක්සැන්ඩර් කුඩා කාලයේදී හැම ගිම්හාන ඍතුවකම ඔහුගේ සීයාගේ ගොවිපළට යාමට සිදුවෙලා තිබුණා. ඒත් ඒක ඇලෙක්ස් ට නම් එච්චර සතුටුදායක වුණේ නෑ. ගිම්හාන කාලයට ඔහුගේ යාලුවන් නිවාඩුවට පිටත් වෙද්දි ඔහුට ගොවිපළක ඉන්නට වුණා. යහළුවන් දවල් වෙනකම් නිදාගන්නකොට ඇලෙක්ස්ට කුකුළා හඬන පාන්දරින් අහරින්න වුණා. ඔවුන් වෙරලේ සෙල්ලම් කරනකොට ඇලෙක්ස්ට ට්‍රැක්ටරයක් මත කාලය ගත කරන්න වුණා. මේ දේවල් නිසා ඇලෙක්ස්ට ගොවිපළේ ජීවිතය නීරස වෙලා තිබුණා. පස්සෙ කාලෙකදී ඔහු Jonathan Binney එක්ක එකතුවෙලා Iron Ox සැලසුම් කලා. 
                      ඒ වගේම මේ රොබෝවරුන් පාලනය කරන ඔහු හැදූ ගොවිපල ගැන ඔහුගේ සීයාට කියන්නත් ඇලෙක්ස් අමතක කලේ නෑ. ඇලෙක්ස්ගෙ සීයාට දැන් වයස අවුරුදු 83 ක් වෙනවා වගේම තවමත් සිය ගොවිපළ පවත්වගෙන යනවා. ඒ උනත් ඇලෙක්ස් ගොවිතැනට අකමැති කෙනෙක් නෙවෙයි.

අරමුණ
         රටක් ඇතුලේ මිනිසුන් වැඩි කොටසක් ඉන්නෙ නගරවල වුණත් ආහාර සඳහා වෙන බෝග වගා කරන ගොවිපළවල් තියෙන්නෙ නගරයෙන් තරමක් ඈතට වෙන්න ගම්බදවයි. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයෙන් නියමිත වෙලාවට සැපයුම් ලබා ගන්න අපහසු වෙනවා. ඒ වගේම සමහර වෙලාවට වැඩක් නොගෙන ඉවත දාන්නත් වෙනවා.එහෙම කියලා නගර මැද්දෙ කුඹුරු හදන්න බෑනේ. හැබැයි මේ  Iron Ox ගොවිපළේදී  ඉඩකඩ අඩුවෙන් වැයවෙන නිසා වගේම කටයුතු ස්ව්‍යංක්‍රීයව වෙන නිසා නගරයට හොඳටම ගැලපෙනවා.
         මේ විදිහට අවශ්‍ය වෙලාවට නිෂ්පාදන ලබා දීම just-in-time farming විදිහට හඳුන්වනවා. ඒ ක්‍රමය ජපානයේ ටොයෝටා සමාගමේ just-in-time කියන ක්‍රමය අනුව සැකසූවක්. මේ නිසා ප්‍රමාණය ඉක්මවා හෝ හිඟයක් හෝ ඇති නොවී අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදන ලබාදෙන්න පුළුවන්. සාම්ප්‍රදායි හරිතාගාරවල වගා කරන කොට පැලෑටි සියල්ලට පොදුවේ සැලකුවත් Iron Ox වලදී එක් එක් පැලයට වෙන වෙනම අවධානය යොමු කරන්න පුළුවන්. ඒ නිසා ඉල්ලුමට හරියන විදිහට සැපයුම දෙන්න පුළුවන්.

AI තාක්ෂණයේ බලය
           මේ සම්පූර්ණ ගොවිපළම ක්ලවුඩ් තාක්ෂණයෙන් බලගැන්වූ කෘතිම බුද්ධි වැඩසටහනකින් පාලනය වෙනවා. ගොවිපළේ ඇති ඔක්සිජන්, නයිට්‍රජන් වැනි වායු ප්‍රමාණය, උෂ්ණත්වය වගේම රොබෝවන්ගේ ස්ථානය වගේම ලැබෙන ඇණවුම් ප්‍රමාණය ද නිරීක්ෂණය කර ඒ අනුව ගොවිපළ පාලනය කරනු ලබනවා. 
           

October 17, 2018

Youtube හදිසියේ බිඳවැටේ!

                                   ඊයේ දවසේ රෑ 10.35 විතර යූටියුබ් වෙබ් අඩවියේ සේවාවන් වන යූටියුබ් ටීවී, මියුසික් හා වෙබ් අඩවියේ අනෙක් සේවා වලට පිවිසීමට නොහැකිව ගියා. පැයක කාලයක් පමණ තිබූ මේ දෝෂය යූටියුබ් වල සර්වර් වල දෝෂයක් ලෙසයි පෙන්නුම් කරේ.
                             දෝෂය වුණ වෙලාවේ යූටියුබ් භාවිතා කරන්නන්ට එයට පිවිසෙන්න බැරිවුණා. ඒ වෙනුවට සර්වර් වල දෝෂයක් ඇති බව දැක්වෙන පණිවිඩයක් දිස්වුණා.යූටියුබ් විසින් මේ දෝෂය ඉක්මනින්ම යතා තත්වයට පත්කරන බව ට්විටර් හීද පල කර තිබුණා.
           ගූගල් සේවා අතරින් යූටියුබ් දිගු වේලාවක් ක්‍රියාවිරහිත වෙන එක ගොඩක් දුර්ලභ දෙයක්. මීට කලින් මේ අවුරුද්දේ ජූලි මාසයේදී ලෝක පාපන්දු ශූරතාව අතරතුරේදී  යූටියුබ් ටිවී සේවය බිඳවැටුනා. ඒ වගේම මේ අවුරුද්දේම අප්‍රේල් මාසයේදීත් යූටියුබ් චැනල් සේවය බිඳ වැටුනා. කොහොම වුණත් දෝෂයට හේතුව හැකර් ප්‍රහාරයක්ද එහෙමත් නැත්නම් මෘදුකාංඟ වල දෝෂයක්ද යන්න තවමත් ගූගල් සමාගම හෙලිකරලා නෑ.

October 12, 2018

ජංගම දුරකථන පිලිකා බිය

                    දැන් දින කීපයක ඉඳන් "සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය" මගින් නිකුත් කර ඇති බව සඳහන් මාධ්‍ය නිවේදනයක් හුවමාරු වෙනවා. මේ නිවේදනයේ තියෙන්නේ "ජංගම දුරකතන සහ පරිගණක ආශ්‍රිත උපාංග මගින් ඇතිකරන විද්‍යුත් චුම්බක තරංග වලට නිරන්තරයෙන් නිරාවරණය වීම සෞඛ්‍ය ගැටලු ඇති කරයි" යන කරුණයි. ඇත්තටම ෆෝන් වල රේඩියෝ තරංඟ සෞඛයට අහිතකරද?

විද්‍යුත් චුම්බක තරංග ගැන

                ඇහැට පෙනුනෙ නැති වුණාට අපි ඉන්නෙ විද්‍යුත් චුම්බක තරංග වලින් ගිලිලා. දුරකතන සංඥා, ටීවී, රේඩියෝ වල වගේම අනෙක් උපකරණ වලින් නිකුත්වෙන මේ තරංග හැමතැනම තියෙනවා.හැම දේකම හොඳ දේ වගේම නරකත් තියෙන වගේ මේ විද්‍යුත් චුම්බක තරංග වලත් නරක පැත්තක් තියෙනවා. විද්‍යුත් චුම්බක තරංග පරාසය අතර එක් තරංඟ පරාසයක් (1x1013Hz) ශරීරයට අහිතකර නොවුණත් එයින් එහාට ඇති තරංග පරාසයේ  (1x1016Hz) තරංඟ වලට ඇති ඉතා ඉහල අයණීකරන හැකියාව (අණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ගැලවිය හැකි) නිසා ඒවා ශරීරයට නිරාවරණය වීම තුලින් සම පිලිස්සීම වගේම පිළිකා වැනි දරුණු රෝගාබාධ ඇති වෙන්න පුළුවන්.

(The electromagnetic spectrum. Image courtesy of ARPANSA)


ෆෝන් වලට අයිති කොටස

                  මේ සංඛ්‍යාත අතරින් මොබයිල් ෆෝන් විමෝචනය කරන්නේ හා ලබා ගන්නේ 800MHz-2600MHz පරාසයේ සංඛ්‍යාතයි. ඉතිං මේ සංඛ්‍යාත පරාසය අයිති වෙන්නෙ අයණීකරනය කිරීමට තරම් ශක්තියක් නොමැති හානියක් නොමැති කොටසටයි. ඒ නිසා මිනිස් සෛල වලට බලපෑමක් කරන්න පුලුවන්කමක් නැහැ. අපිට පෙනෙන ආලෝකය, අධෝරක්ත කිරණ වගේම ක්ෂුද්‍ර තරංඟ අයිති වෙන්නෙ මේ ගොඩටම තමයි.
                නමුත් මේ අයණීකරන හැකියාව නැති විද්‍යුත් චුම්බක තරංග මගින් තාපය ජනනය කිරීමේ හැකියාව පවතී. කවුරුත් දන්න මයික්‍රෝවේව් අවන් එක වැඩකරන්නේ මේ සිද්ධාන්තය මගිනුයි. ඒ වෙනුවෙන් වොට් 600-1000 ක් අතර ශක්තියක් ලබාගන්නවා. ඒත් මොබයිල් ෆෝන් එකකින් ජනනය කරන්නේ වොට් දෙකකටත් වඩා අඩු ශක්තියකි.

SAR අගය

         එක් එක් දුරකථනය මගින්, එය භාවිතා කරන පුද්ගලයාට උරාගන්නා ශක්තිය (RF Energy) කොපමණ ද යන්න මනින්නට SAR (specific absorption rate) අගය භාවිතා කරනවා. මේ අගය දුරකතනයෙන් දුරකතනයට වෙනස් වෙනවා. දුරකතන නිෂ්පාදකයින් සිය දුරකතන FCC (US Federal Communications Commission) යට ඉදිරිපත් කර මෙම අගය ලබා ගත යුතු වෙනවා. ඒ අගය නිෂ්පාදකයාගේ වෙබ් අඩවියේ හා නිෂ්පාදනය සමග ලබාදිය යුතු වෙනවා. ඇමරිකාවේ මෙහි උපරිම අගය කිලෝගරෑමයට වොට් 1.6 ක් වෙනවා. ලංකාවේදීත් මේ අගය 1.6Wkg-1 වෙනවා.
                     ඒත් මේ SAR අගයද නොමග යවනසුලු අගයක් බව FCC හි අදහසයි. ඒකට හේතුව වෙන්නේ දුරකතනයක උපරිම SAR අගය එය සැබෑවටම පරිශීලකයා එය භාවිතා කරන විට ඇති අගයන් අතර වෙනස් කම් ඇති වීම එයට හේතුවයි. උදාහරණයක් විදිහට යම් දුරකතනයක් හොඳින් signal ලැබෙන තැනක තියෙනවාට වඩා වැඩි බලයක් යොදා signal අඩු තැනකදී ක්‍රියාත්මක වේ.

මොළයේ ගෙඩි හැදෙන්න බලපානවාද?

                    දුරකතනයක් භාවිතා කරන කොට ඒක කණට තියලා කතා කරන නිසා ශරීරයේ අනෙක් තැන් වලට වඩා වැඩියෙන් මොළයට වැඩි බලපෑමක් කරන්න ඉඩ තියෙනවා. ඉතිං මේ ගැන ඇමරිකාවේ පිළිකා පිළිබඳ සංගමය කල පරීක්ශණයක් ගැන වාර්ථාවක් පළවෙලා තියෙනවා. ඒකට අනුව මීයන් හා රේඩියෝ සංඥා යොදාගෙන කල පරීක්ෂණයකදී පිලිකා සෛල ඇති වීමට ඉඩකඩ ඇති බව සොයාගත්තත් ඒ ගැන නිශ්චිතවම කීමට නොහැකි වී ඇත්තේ ඇතැම් සත්තුන් හට මෙය බල නොපා තිබෙන නිසයි.
                   එසේම මේ පරීක්ෂණයේදී හඳුනගත් දෙයක් වන්නේ කෙනෙකු දුරකතනයක් භාවිතා කරන විට එහි ඇන්ටනාව අසල මොළයේ පටකවල අසාමාන්‍ය හැසිරීමක් ඇතිවන බවයි. නමුත් එයින් අහිතකර බලපෑමක් සිදුවන බව සඳහන් නොවිනි.

              ගැටලුව නම්  "සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය" මගින් නිකුත් කර ඇති බව සඳහන් මාධ්‍ය නිවේදනයේ  "ජංගම දුරකතන සහ පරිගණක ආශ්‍රිත උපාංග මගින් ඇතිකරන විද්‍යුත් චුම්බක තරංග වලට නිරන්තරයෙන් නිරාවරණය වීම සෞඛ්‍ය ගැටලු ඇති කරයි" යන නිගමනයට ඒමට කරන ලද හෝ මූලික වූ පර්යේෂනය කුමක්ද යන්න තවමත් පැහැදීලි නැති වීමයි. ප්‍රමිතියෙන් ඉතා බාල  දුරකතන ආනයනයට ඉඩදී ඒවා ඉරිදා පොලේ විකිණිනෙන මේ කාලේ ඒ උපාංග වලින් මිනිසුන් ලෙඩ වීමත් පුදුමයක් නෙවෙයි.

September 30, 2018

මිලියන 50 ක ෆේස්බුක් ගිණුම් හැක් වේ!

                        Social Network අතරින් ඉහලින්ම සිටින ෆේස්බුක් සමාගමේ ගිණුම් මිලියන 50 කට අයත් දත්ත හැකර් ප්‍රහාරයකට ලක් වී ඇති බව එම සමාගම විසින් පසුගිය දිනයේදී(28) නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා. ඒකට හේතුව වුණේ ෆේස්බුක් වෙබ් අඩවියේම තිබුණු ආරක්ෂක දුර්වලතාවයකුයි. 


                       කලින් කිව්වා වගේම මේකට හේතුව වුණේ ෆේස්බුක් වෙබ් අඩවියේ කේත කොටසක තිබූ ආරක්ෂක දුර්වලතාවයක්. ඒ ෆේස්බුක් පිටුවේ ඇති සියලුදේ එකවර හෝ වෙන් වෙන් වශයෙන් පෙන්වීමට පහසුකම් සපයන "View As" පහසුකම මගින් "Access token" සොරා ගැනීම මගිනි. Access token යනු ඩිජිටල් යතුරක් වැනි දෙයකි.යම් App එකක් මගින් යම් කෙනෙකු එක් වරක් පමණක් log වූ පසු නැවත පැමිණීමේ දී log වීමට අවශ්‍ය නොවන්නේ මේ access token නිසා වෙනි. කෙනෙකු මේ access token සොරා ගත් පසු එම තැනැත්තාට සත්‍ය පුද්ගලයා ලෙසම ගිණුම හැසිර වීම වගේම ඒ ගිණුම හරහා යවන ලද සියලු පුද්ගලික පණිවිඩ ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ ප්‍රහාරය දියත් කිරීමට හැකර් කරුවන් විසින් වෙනත් තෙවන පාර්ශවික ඇප් යොදා ගත්තේද යන්න දැන් සොයමින් පවතිනවා.  
                      මේ ප්‍රහාරය ගැන දැනගත් වහාම ගිණුම් වල access token වෙනස් කිරීමට ෆේස්බුක් සමාගම කටයුතු කරනු ලැබුවා. ඒ වගේම පෙර සූදානමක් විදිහට අවුරුද්දකට කාල පරාසය තුල View as පහසුකම භාවිතා කර තිබූ ගිණුම් මිලියන 40 ක access token වෙනස් කිරීමටත් තවත් මිලියන 90 ක පමණ ගිණුම් වලින් log out කිරීමටත්,පරීක්ෂණ කටයුතු නිම වන තුරු View as පහසුකම අක්‍රිය කර දැමීමටත් සමාගම කටයුතු කරලා තියෙනවා.
                         ෆේස්බුක් සමාගම පවසන විදියට මෙසේ ප්‍රහාරයට ලක්වූ ගිණුම් කිසිවක සත්‍ය password හෝ ක්‍රෙඩිට් කාඩ් අංක හෝ සොරාගෙන නැති බැවින් password වෙනස් කිරීම අවශ්‍ය නොවේ. ඔබ භාවිත කරන ගිණුමත් මේ ප්‍රහාරයට ලක්ව තිබුණි නම් ෆේස්බුක් මගින් log වූ ඇප් වලින් log out වී ඇති. තවමත් පරීක්ෂණ පටන්ගත් මුල් අදියර නිසා කුමණ තොරතුරු වලට හැකර් කරුවන් පිවිසී ඇතිද යන වග සොයමින් පවතිනවා.

September 23, 2018

ඊ-මේල් පාස්වර්ඩ් අමතක වෙනවද ?

                    Facebook, Google වගේ online account තියෙන ගොඩක් දෙනෙක්ට තියෙන පොදු ප්‍රශ්ණයක් ගැන තමයි මේ කතා කරන්න හදන්නේ. ප්‍රශ්ණයක් කිවුවට ඇත්තටම ලොකු දුර්වලතාවයික් ගැන. ඒ තමයි password අමතක වෙන එක ගැන.
                      Facebook හරි වෙන මොකක් හරි social media account එකක් හදන සමහර අය E-mail account එකක් හදන්නේ ඒ account එක හදන්න විතරයි. ඒකට හේතුව ඒක හදන වෙලාවෙදි තව ඉස්සරහට ඒ account එකේ එකතුවෙන දත්ත වගේම ගොඩනැගෙන සම්බන්ධතා ගැන හිතන්නෙ නෑ. ෆෝන් එකෙන් ලොග් වෙලා ඉඳලා හදිසියේ ලොග් අවුට් උනාම තමයි මතක් වෙන්නේ.. "හුටා...! password එක මතක නෑනේ.." ඉතිං ඊට පස්සේ පාස්වඩ් එක රිකවරි කරන්න බලනවා. දැන් රිකවර් කරන්න ඊ-මේල් ඉල්ලනවා. ඊ-මේල් එකේ පාස්වර්ඩ් එක තියා ඊ-මේල් ඇඩ්‍රස් එකවත් මතක නැති කොට මොන රිකවරි ද? දැන් ඉතිං IT පොරක් හොයලා අහනවා "මල්ලී.. එෆ්බී හැක් කරන්න පුළුවන්ද?" කියන තරම් ලේසියිද අයියේ ඕවා.. ඒ හින්දා මේ ටික දැනගන්න..

දහයක් පහලොවක් වෙනුවට එකක්..
                        E-mail address එක ගෙදර ඇඩ්‍රස් එක තරම්ම වැදගත්. ඉතිං තමන්ගේම කියලා එක ඊ-මේල්  එකවුන්ට් එකක් තියා ගන්න ඕනි. ඒක හරියට ස්ථිර ලිපිනයක ජීවත් වෙනවා වගේ. ලියුම් ලබාගන්න, විවිධ සේවා ලබා ගන්න ලේසියි. මාසෙන්, මාසෙ එක එක ගෙවල් වල ඉන්න ගියාම ඇඩ්‍රස් ගොඩයි. හරි හමන් ඊ-මේල් එකක් නැතුව අටෝරසියක් ඊ-මේල් තියෙන කොටත් ඒවගෙයි. කොයි එකෙන් රෙජිස්ටර් උනාද කියලා මතක නෑ. ඒත් විශේෂ වැඩ වලට වෙන වෙනම තිබුණට කමක් නෑ. වැදගත් වෙන්නෙ පාස්වර්ඩ් මතක තියා ගන්න එක.

අමතක වුණොත් recovery කරන්න..
                       කොච්චර කොහොම කිව්වත් කාලයක් පාවිච්චි නොකර හිටියොත් ගොඩක් වෙලාවට පාස්වර්ඩ් අමතක වෙන එක වෙන්න පුළුවන්. ඒකට පෙර සූදානමක් විදිහට තමයි ඔන්ලයින් එකවුන්ට් හදනකොට ඒක අයිති කෙනාගෙ ෆෝන් එකේ අංකයක් තව විකල්ප ඊ-මේල් (alternate email address) එකක් ඉල්ලන්නේ. එතනදී දැන් හදන ඊ-මේල් එක කලාතුරකින් පාවිච්චි කරන එකක් නම් මේ විකල්ප ඊ-මේල් එක විදිහට නිතරම පාවිච්චිවෙන ඊ-මේල් ඇඩ්‍රස් එක දෙන්න ඕනි. පාස්වර්ඩ් එක අමතක වුණ වෙලාවට මෙන්න මේ දෙකෙන් එකක් යොදාගෙන පාස්වර්ඩ් එක reset කරගන්න පුළුවන්. 
                               තව ප්‍රශ්ණයක් තමයි වෙන රටක ඉඳලා ආයෙත් ලංකාවට ආවම ඒ රටේ ෆෝන් එකෙන් පාස්වර්ඩ් රී සෙට් කරන්න බැරිවෙන එක. මොකද Password Reset කරන්න ෆෝන් එක ලඟ නෑනේ.ඒ නිසා රට මාරු වුණ ගමන් ෆෝන් නම්බර් එක අලුත් කරලා ඒක Verify කර ගන්න.

අමතක වෙනවට Password Manager

                           පාස්වර්ඩ් අමතක වෙනවා කියලා 123456 වගේ ලේසියෙන්ම හිතාගන්න පුළුවන් පාස්වර්ඩ් දාන එක නම් ලොකු මෝඩ කමක්. ඒ නිසා පාස්වර්ඩ් එකක් හදන කොට අකුරු, ඉලක්කම්, විශේෂ සංඛේත එකතු කරලා හොඳ ශක්තිමත් පාස්වර්ඩ් එකක් හදාගන්න ඕනි. මොනයම් හෝ Online Account එකක තියෙන සෑම දත්තයකම ප්‍රධාන ආරක්ෂාව රැඳිලා තියෙන්නෙ මේ  password එක මතයි. හිතලා හදාගන්න අමාරුයි නම් නොමිලේම හොඳ ශක්තිමත් password හදලා දෙන web site දැන් තියෙනවා. https://passwordsgenerator.net/ කියන්නේ ඒ වගේ සයිට් එකක්.
                               මේ විදිහට හොඳ පාස්වර්ඩ් එකක් දාලා ආයෙ ඒක අමතක වෙනවට කරන්න පුළුවන් වැඩක් තියෙනවා. ඒ තමයි password එක මතක තියාගන්න එක Password Manager software එකකට බාර දෙන එක. එතකොට එක Master password එකක් මතක තියාගන්න එක විතරයි කරන්න ඕනි. අනෙක් ගිණුම් වලට ඕනි කරන password මතක තියාගෙන ඒවා ආයෙ login වෙන වෙලාවට autofill කරන්න මේවට පුළුවන්. සාමාන්‍යයෙන් web browser එකෙත් password save කරන්න පුළුවන් වුණත් ඒක එතරම් ආරක්ෂාකාරී නෑ. Zoho VaultDashlaneLastPass වගේ විශ්වාසය තියන්න පුළුවන් Password Manager කීපයක් තියෙනවා. ඒත් සමහරක් මුදල් ගෙවලා ගන්න ඕනි ඒවා. ඒ අතරින් LastPass වල නොමිලේ දෙන varsion එක අනෙක් ඒවට වඩා වටිනවා. දැනට තියෙන password එක මතක තියාගන්නවා වගේම ඒක දුර්වල එකක් නම් ශක්තිමත් password එකක් හදාගන්නත් LastPass උදවු කරනවා.

September 16, 2018

Raspberry Pi පාඩම : Tiny RTC මොඩියුල සවි කරමු

             Raspberry Pi කියන්නෙ මයික්‍රොකොන්ට්‍රෝලර් වලට වඩා එහා ගියපු පහසුකම් තියෙන පරිගණක උපාංඟයක් කියලා ගොඩක් දෙනෙක් දන්නවා ඇති. ඉතිං මේ වටිනා කියන උපකරණයෙන් කරන්න පුළුවන් වැඩ ගොඩයි. ඉතිං ඒ දේවල් වලින්  දන්න දේවල් ටික මේ විදිහට කියලා දෙන්න හිතුවා.
                       Raspberry Pi බෝඩ් එක එකලස් කරගන්න විදිහ ගැන, ඒකෙ අනෙක් විස්තර ගැනත් පෝස්ට් එකක් නොලිය මේකෙන් කරන වැඩ ගැන විතරක් ලියන්න හිතුවා. ඒත් කෙනෙක්ට ඕනි නම් ඒ ගැන දැනගන්න, අලුත් පෝස්ට් එකකින් කියලා දෙන්න පුළුවන්.
                        Raspberry Pi කියන්නෙ අඩු මිලට දෙන්න හදපු, ගොඩක්ම IoT වගේ project එක්ක වැඩ කරන්න හදපු පරිගණකයක්. ඉතිං ඒකට සාමාන්‍ය පරිගණකවල එනවා වගේ Hardware Clock එකක් නෑ. මේ හින්දා RPi බෝඩ් එකේ වෙලාව ඉන්ටනෙට් එකට සම්බන්ධ වුණාම ඉබේම ntp (nework time protocol) හරහා දිනය, වෙලාව අප්ඩේට් වෙනවා. ඒත් ඉතිං ඉන්ටනෙට් නැති හැම වෙලාවටම මේකෙ වෙලාව වෙනස් වෙනවා. ඒකට විසඳුමක් විදිහට අපිට Tiny RTC මොඩියුල් එකක් RPi බෝඩ් එකට හයි කරගන්න පුළුවන්.

Tiny RTC මොඩියුලය ගැන.
                  Tiny RTC (Real Time Clock) කියන්නේ DS1307  කියන චිප් එක (DS3231, PCF8523 මොඩල් එකේ චිප් එහෙමත් තියෙනවා) පාදක කරගෙන හදපු කුඩා ඩිජිටල් ඔරලෝසුවක්. මේකත් එක්ක සන්නිවේදනයට I2C protocol එක භාවිතා වෙනවා.විදුලිය නැති වෙලාවට වැඩ කරන්න කොම්පියුටර් වල තියෙන වර්ගයේ, CR1225 කියන ලිතියම් බැටරි කෑල්ලක් මේ මොඩියුල් එකත් එක්ක එනවා.
වයරින් කරන හැටි.
                     මොඩියුල් එක කෙලින්ම බෝඩ් එක පාස්ස ගන්නෙ නැතුව බ්‍රෙඩ් බෝඩ් එකක ටෙස්ට් කරන්න. මොඩියුල් එකේ VCC, GND, SDA, SCL, DS විදිහට  පින් 5 ක් බලා ගන්න පුළුවන්. ඒකෙන් DS කියන පින් එක හැර අනෙක් පින් රාස්බෙරි බෝඩ් එකට සම්බන්ධ කරගන්න ඕනි.

VCC - 5v  (PCF8523 හෝ DS3231 නම් 3.3v වලට)
GND - GND
SDA - RPi හි GPIO හි ඇති SDA පින් එකට
SCL - RPi හි GPIO හි ඇති SCL පින් එකට
raspberry_pi_ds1307.gif
(learn.adafruit.com)

රාස්බෙරි බෝඩ් එක සූදානම් කිරීම
        මුලින්ම රාස්බෙරි බෝඩ් එකේ I2C සක්‍රිය කරන්න ඕනි. I2C වල තියෙන විශේෂත්වය තමයි දත්ත ගමන් කරන්න වයර් දෙකක් විතරක් වගේම අනෙක් සියලු මොඩියුලත් ඒ වයර් දෙකටම සම්බන්ධ කරන්න පුළුවන් වෙන එක. ඒ හැම මොඩියුල් එකකටම අනන්‍ය වුණු ලිපිනයක් ලැබෙනවා.
        දැන් I2C enable කරන විදිහ බලමු. ඒකට මුලින්ම පහලින් තියන කමාන්ඩ් දෙක ටර්මිනල් එකේ ටයිප් කරන්න. ඒ I2C වලට ඕනි කරන පැකේජ දෙකක් ඉන්ස්ටෝල් කරන්න.

sudo apt-get install -y python-smbus

sudo apt-get install -y i2c-tools

                  දැන් sudo raspi-config කියන කමාන්ඩ් එක ටයිප් කරලා RPi Configuration වින්ඩෝ එක ඕපන් කරගන්න ඕනි. 
 learn_raspberry_pi_interfacing.png
ඊට පස්සේ Interfacing Options තෝරගෙන්න (පරණ os එකේ Advanced Options) 
 learn_raspberry_pi_advancedopt.png
ඒකෙන් I2C තෝරලා Enable කරන්න ඕනි. 
learn_raspberry_pi_i2c.png
learn_raspberry_pi_wouldyoukindly.png
                          දැන් වැඩේ හරි..ඊළඟට sudo reboot කමාන්ඩ් එකෙන් RPi එක Reboot කරන්න ඕනි. රීබූට් උනාට පස්සේ ටර්මිනල් එකේ sudo i2cdetect -y 1 (පරණ os එකේ sudo i2cdetect -y 0) ටයිප් කරලා enter කරාම මෙන්න මේ වගේ output එකක් එනවනම් වැඩේ සාර්ථකයි. ඒ වෙලාවෙ මොඩියුල් එක සම්බන්ධ කරන්නෙ නැතුව මේක කරලා බලන්න.
learn_raspberry_pi_i2c-detect.png

මොඩියුල් එක චෙක් කරමු
                  උඩින් කියපු විදිහට මොඩියුල් එක සම්බන්ධ කරලා sudo i2cdetect -y 1 කමාන්ඩ් එක ටර්මිනල් එකේ දුන්නම මෙන්න මේ විදිහට 0x68 කියලා ඇඩ්‍රස් එකක් පෙන්නවනම් වැඩේ ගොඩ.!
raspberry_pi_addr68.gif

කමාන්ඩ් වැඩ ටික
                                       හාඩ්වෙයා වැඩ ටික හරියට කරානම් දැන් මේ විදිහට RPi එකට Tiny RTC එක හඳුන්වලා දෙන්න පුළුවන්. මුලින්ම sudo nano /boot/config.txt කියලා කමාන්ඩ් එක දීලා configuration එකට යන්න ඕනි. එතනදී # ලකුණ නැති හිස් තැනක පහලින් දීලා තියෙන කමාන්ඩ් වලින් තමන්ගෙ ලඟ තියෙන මොඩියුල් එකේ චිප්  එකට අදාල කමාන්ඩ් එක දෙන්න ඕනි.

DS1307 නම් → dtoverlay=i2c-rtc,ds1307
PCF8523 නම් → dtoverlay=i2c-rtc,pcf8523
DS3231 නම් → dtoverlay=i2c-rtc,ds3231

raspberry_pi_dtoverlay.png
                  ඊට පස්සේ Ctrl+X ඔබලා exit වෙනකොට ෆයිල් එක සේව් කරන්න අහයි. ඒකෙදි y අකුර ටයිප් කරලා enter කරන්න. ඊලඟට sudo i2cdetect -y 1 කමාන්ඩ් එක ආයෙත් ටර්මිනල් එකේ දුන්නම කලින් තිබුණ 0x68 කියන එක 0xUU කියලා වෙනස් වෙලා තියෙනවා පෙනේවි.
raspberry_pi_UU.png
                       දැන් කරන්න තියෙන්නෙ කලින් තිබුණ fake hwclock එක වෙනුවට මේ අලුත් 'real' hwclock එක සෙටප් කරන එක. ඒක කරන්න මෙන්න මේ කමාන්ඩ් ටික පිළිවෙලට ටර්මිනල් එකේ දෙන්න ඕනි.

sudo apt-get -y remove fake-hwclock
sudo update-rc.d -f fake-hwclock remove
sudo systemctl disable fake-hwclock
raspberry_pi_removehwclock.png
                  දැන් fake hwclock එක off වෙලා තියෙන නිසා තවත් ඒක වැඩ කරන්නේ නෑ. ඒ නිසා sudo nano /lib/udev/hwclock-set කමාන්ඩ් එක දීලා ඒකෙ පහලින් දීලා තියෙන කමාන්ඩ් එක # දාලා කමෙන්ට් කරන්න ඕනි.

#if [ -e /run/systemd/system ] ; then
# exit 0
#fi
raspberry_pi_hwclock-set.png
ඔරලෝසුවේ වෙලාව හදමු.
             sudo hwclock -D -r කියන කමාන්ඩ් එකෙන් ඕනෙම වෙලාවක RPi එකේ වෙලාව කියවන්න පුලුවන්. 
raspberry_pi_invalidclok.png
                      ඒත් සමහරවිට වෙලාව වැරදී ඇති. ඒ අලුතින් එකතු කරපු මොඩියුල් එකේ වෙලාව හරියට හදලා නැති නිසා. මුලින්ම date කියන කමාන්ඩ් එක දීලා වෙලාව හරිද කියලා බලන්න. වැරදියි නම්, RPi එක ඉන්ටනෙට් එකට කනෙක්ට් කරලා sudo hwclock -w ටයිප් කරලා enter කරන්න. ඒකෙන් මොඩියුල් එකේ වෙලාව update වෙයි.  දැන් ආයෙත් date කියල ගහලා බලන්න වැඩේ හරි ඇති. ඊලඟ සැරේ RPi එක ඔන් කරනකොට ඉන්ටනෙට් නැතත් වෙලාව වැඩ.!

එකතුවෙන්න...

 
         
 

tech එකේ ඉන්න අය

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ලිපි එකතුව

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

tech සයුර Copyright © 2014 - All rights reserved.