January 13, 2019

Sony Aibo : ගෙදර සුරතලාත් රොබෝ වෙයිද?

                                                 ගෙදරක සුරතලයට සතෙක් ඇතිකරනවා නම් ගොඩක් වෙලාවට ඒ බලුපැටියෙක්. මිනිසාගේ හොඳම මිතුරා කියලත් කියනවනේ. ඉතිං ඉස්සරහට නම් ඒ කතාව ටිකක් වෙනස් වෙයි වගේ. කොහොමද ගෙදර සුරතල් බලු පැටියත් රොබෝ කෙනෙක් උනොත්?
Sony Aibo
            සෝනි සමාගමෙන් අයිබෝ කියන මේ රොබෝ බලු පැටියා මුලින්ම නිකුත් කලේ 1999 වසරේදියි. අයිබෝ කෘතිම බුද්ධියෙන් ක්‍රියාත්මක වෙන රොබෝවක්. ගෙදර ඇති කරන බලු පැටියෙකුගෙ තියෙන අංග චලන ඒ විදිහටම වගේ සිදුකරන්න මේ රොබෝවට පුළුවන්. අයිබෝ නිෂ්පාදන 1999 පටන් ගත්තත් 2006 දී නිෂ්පාදන නතර කරනු ලැබුවා. ඊට අවුරුදු 11 කට පසුව 2017 දී නව අයිබෝ සංස්කරණයක් නිකුත් කරන බවට සෝනි සමාගම නිවේදනය කලා. ඒ අනුව යමින් CES 2019 උළෙලේ දී ERS-1000 මොඩලය යටතේ නව අයිබෝ රොබෝව එලිදක්වනු ලැබුවා.

වැඩ කිඩ
        අයිබෝ හට කැමරා දෙකක් ,ස්පර්ෂ සංවේදක වගේම තව සංවේදක රාශියක් පිහිටලා තියෙනවා. එක කැමරාවක් පිටුපස වලිගය ලඟත් අනෙක් කැමරාව නාසයේත් පිහිටලා තියෙනවා. ඉදිරි කැමරාවෙන් මුහුණු හඳුනාගන්න, මස්කට්ටක් විදිහට හදපු අයිබෝගේ (AiBone) සෙල්ලම් බාන්ඩය හඳුනාගන්නත් පුළුවන්. පිටුපස කැමරාවෙන් බැටරි ආරෝපණය කරගන්න තැන අඳුරගන්න වගේ අවස්ථාවලට යොදාගන්නවා. අයිබෝට කටහඬ හඳුනාගන්න හැකියාව තියෙනවා. ඒ වගේම සෝනි සමාගම දෙන ඇප් එකකින් අයිබෝ හට අලුත් දේවල් පුරුදු කරන්න, ඉදිරි කැමරාවෙන් පින්තූර ගන්නත් රොබෝවේ ඇස් වල පාට වෙනස් කරන්නත් පුළුවන්. .ඒත් මේ රොබෝව හදලා තියෙන්නෙ ස්මාර්ට් හෝම් උපාංඟයක් විදිහට නම් නෙවෙයි. ඒ කියන්නෙ උදේට ප්‍රවෘත්ති කියවන්න, ඉන්ටනෙට් එකත් එක්ක කනෙක්ට් වෙලා කාලගුණය ගැන කියන්න නම් මෙයාට බෑ.
     අලුත් අයිබෝ රොබෝවට 100 දෙනෙක් දක්වා ඒ අයගේ හැසිරීම් එක්ක වෙනවෙනම මතක තියාගන්න පුළුවන්. නිකට යට, ඔළුව අතගානවට කටහඬින් හොඳ ප්‍රතිචාර දක්වනවාට අයිබෝ ගොඩක් කැමතියි. අයිබෝට සෙල්ලම් කරන්න පොඩි රෝස පාට බෝලයක් වගේම කලින් කියපු  අයිබෝන් එක තියෙනවා. අත්වනන්න, ඉඳගන්න, නටන්න, බෝලෙකට පයින් ගහන්න, සින්දු කියන එක  අයිබෝට පුළුවන් වැඩ කීපයක්.

දෘඩාංඟ
       අයිබෝ රොබෝවට 64-bit Quad-Core ප්‍රොසෙසර් එකක් තියෙනවා. OLED ඇස් දෙකක්, මයික්‍රොෆෝන් 4ක්, flight sensor එකක්, ranging sensors, capacitive touch sensors, gyro sensors, acceleration sensors, අලෝක සංවේදකයක්, චලන සංවේදකයක් එක්ක පාද වලට සම්බන්ද කෙරුණු සංවේදක තියෙනවා.

මෘදුකාංඟ
      උඩින් කිව්වා වගේම මේක කෘතීම බුද්ධි වැඩසටහනකින් ක්‍රියාත්මක වන Aperios කියන මෙහෙයුම් පද්ධතියෙන් (Real-Time Operating system) ක්‍රියාත්මක වෙන රොබෝවක්. My Aibo වැඩසටහනින් රොබෝවේ දත්ත ක්ල්වුඩ් දත්ත රැඳවුමට සම්බන්ධ කරන්න පුළුවන්. සෝනි සමාගම නිෂ්පාදනය කල OPEN-R architecture ට අනුව  මෘදුකාංඟ සකසා තිබෙනවා. ඒ නිසා පහසුවෙන් දෘඩාංඟ, මෘදුකාංඟ කොටස් වෙනස් කරන්න හැකියාව ලැබිලා තියෙනවා.
           අයිබෝ රොබෝව හඳුවන්වන්නේ සෙල්ලම් උපකරණයක් විදිහටයි. ඇත්තටම අයිබෝ ඇතිකරන අයට කෑම දෙන්න, බෙහෙත් විදින්න, වෙනත් අවශ්‍යතා ඉටු කරන්න වගේම කූඩුවක් හදන්න ඕනි වෙන්නේ නෑ. හැබැයි ඉතින් විදුලිය නැත්නම් මෙයාගෙන් වැඩක් නෑ. ඒ වගේම කුඩා දරුවන්ට නම් මෙයාව ගොඩක් හුරතල් සෙල්ලම් බඩුවක් වේවි. $1,750 (රු.318,500) විතර මිලකට මේක අලෙවි කරනවා. ඒ අනුව සෝනි අයිබෝ යනු හුදෙක් නවීන පන්නයේ මිල අධික සෙල්ලම් උපාංගයකි.

January 8, 2019

සීමා බිඳුන GitHub!

                  දැනටමත් ගිට් හබ් යූස් කරන, ෆ්‍රී අකවුන්ට් අයටනම් මේ අවුරුද්ද පටන් ගන්නකොටම සතුටු හිතෙන ආරංචියක් තමයි අහන්න ලැබෙන්නෙ. ඉස්සර නම් ගිට් හබ් එකේ නොමිලේ ලැබෙන එකවුන්ට් වල කෝඩ් එක හැමෝටම බලන්න පුළුවන් විදිහට පබ්ලික් විදිහට හදන්න ඕනි. ප්‍රයිවට් රෙපොසටරි එකක් ඕනි නම් ගෙවීමක් කරලා ඒ සේවාව ගන්න ඕනි වුණා. ඒත් මේ මාසේ ඉඳලා ෆ්‍රී එකවුන්ට් තියෙන අයටත් unlimited private projects හදන්න දැන් පුළුවන්.
මේ ප්‍රයිවට් රෙපොසටරි වල උපරිම 3 දෙනෙකුට විතරයි වැඩකරන්න පුළුවන්. පබ්ලික් රෙපොසටරි වල තවමත් ඕනෑ තරම් අයට එකට එකතු කරගෙන වැඩ කරන්න පුළුවන්.
                  පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මයික්‍රෝසොෆ්ට් සමාගමෙන් ගිට් හබ් වෙබ් අඩවිය මිලදී ගනු ලැබුවා. සමහරු නම් මේ ගැන වැඩි ප්‍රසාදයක් දැක්වුයේ නම් නෑ. ඒ ගිට් හබ් වල තිබුණු සාම්ප්‍රදායික නීති රීති වෙනස් වී මුදල් උපයන අරමුණින් නව නීති රීති ඒවි යැයි සිතාය. නමුත් මේ සිදුවුණේ වෙනස්ම පෙරලියකි. ඒ අනුව මයික්‍රෝසොෆ්ට් සමාගම කුඩා කණ්ඩායම් වලින් මුදල් ලබා නොගෙන ආදායමක් උපයන විශාල ව්‍යාපාර වලින් මුදල් ලබා ගැනීම සිදුවේවි.
ඒ වගේම Enterprise Cloud හා Enterprise Server යන සේවාවන් දෙකම GitHub Enterprise විදිහට අලෙවි කරන්න වගේම GitHub Developer කියන නමත් ඉදිරියට GitHub Pro විදිහට වෙනස් කරන්නත් මයික්‍රෝසොෆ්ට් සමාගම තීරණය කරලා තියෙනවා.
කොහොම වුණත් කාටත් සාදාරණ වෙන විදිහට ගිට් හබ් එක වෙනසක් කරන්න මයික්‍රෝසොෆ්ට් සමාගමට හැකිවෙලා තියෙනවා. ඒ වගේම මේ වෙනස නිසා තව තවත් අය ගිට් හබ් වෙත ආකර්ෂණය වේවි.

January 6, 2019

ආර්ඩුඊනෝ පාඩම 1 : LCD තිරයක් එක්ක වැඩ

                             ආර්ඩුඊනෝ  ගැන මුල ඉඳලා අකුරෙන් අකුර කියල දෙන්න ගියොත් අලුත් දේවල් කියල දෙන්න ගොඩක් කල් යනවා. කොහොමත් ආඩුඊනෝ පටන් ගන්න හැටි, ඒ ගැන හැඳින්වීම් ලිපි  ඕනෙ තරම් හොයාගන්න පුළුවන්. ඒ නිසා මැද හරියකින් පටන් ගන්න හිතුවා. මේ ලිපිය ආඩුඊනෝ වලදී LCD තිරයක් භාවිතා කරන හැටි ගැනයි.

ඕනි කරන දේවල්

  • Arduino UNO x 1
  • 2x16 LCD x 1
  • 1K x 1
  • 220 ohm resistor x 1
  • 10K VR x 1
  • Breadboard (Project Bord)
  • Jump wire

2x16 LCD එක ගැන
              ආර්ඩුඊනෝ වලදී මේකට ගන්නේ Hitachi HD44780 කියන driver එකට (ඒ ගැන කලබල වෙන්න එපා ) ගැලපෙන LCD. මේ ප්‍රොජෙක්ට් එකට ගන්නෙ 2x16 LCD එකක් (ඒ කියන්නෙ කොටු 16යේ පේලි 2 ක් තියන ඩිස්ප්ලේ එකක්). මේ ඩිස්ප්ලේ එකට අග්‍ර 16ක් තියෙනවා. ඒ ගැන සරලව පහලින් තියෙනවා (මේක දැම්මෙ වැඩිදුර දැන ගන්න) .
 Pin No
 Function
 Name
1
Ground (0V)
Ground
2
Supply voltage; 5V (4.7V – 5.3V)
 Vcc
3
Contrast adjustment; through a variable resistor
 VEE
4
Selects command register when low; and data register when high
Register Select
5
Low to write to the register; High to read from the register
Read/write
6
Sends data to data pins when a high to low pulse is given
Enable
7
8-bit data pins
DB0
8
DB1
9
DB2
10
DB3
11
DB4
12
DB5
13
DB6
14
DB7
15
Backlight VCC (5V)
Led+
16
Backlight Ground (0V)
Led-

පරිපථය

         මේ විදිහට ප්‍රොජෙක්ට් බෝඩ් එකක උපාංඟ ටික එකලස් කරගන්න. 2x16 LCD ඩිස්ප්ලේ එකේ ඩේටා ෂීට් එක ඕනි නම් මෙතනින් ගිහින් ගන්න පුළුවන් ඒක.

වැඩසටහන

const int rs = 12, en = 11, d4 = 5, d5 = 4, d6 = 3, d7 = 2;

LiquidCrystal lcd(rs, en, d4, d5, d6, d7);

void setup() {
  // set up the LCD's number of columns and rows:
  lcd.begin(16, 2);
  // Print a message to the LCD.
  lcd.print("hello, world!");
}

void loop() {
  // set the cursor to column 0, line 1
  // (note: line 1 is the second row, since counting begins with 0):
  lcd.setCursor(0, 1);
  // print the number of seconds since reset:
  lcd.print(millis() / 1000);
}

              මේක තමයි LCD ඩිස්ප්ලේ එක වැඩ කරවන්න Arduino වල Run කරන්න පුළුවන් ලේසිම වැඩසටහන. Arduino IDE එක ඩවුන්ලෝඩ් කරගෙන නැත්නම් මෙන්න මෙතනින් ගිහින් online editor එකෙන් වැඩ කරන්න පුළුවන්.

                                            මේ වැඩසටහනේදි rs, en, d4, d5, d6, d7 විදිහට int veriable 6ක් තියෙනවා. ඒවායින් LCD එක වැඩකරන්න ඕනි signal යවන්න ඕනි Arduino bord එකේ අග්‍ර හදුන්වලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට LCD එකේ Enable පින් එකට bord එකේ 11 පින් එක en = 11 විදිහට තියෙනවා. ඊළඟට LiquidCrystal lcd() කියන Constructor එකට මේ veriable 6 පිළිවෙලින් RS pin on the LCD,RW pin on the LCD,enable pin on the LCD, Data pin1,Data pin2,Data pin3,Data pin4 විදිහට දෙන්න ඕනි.veriable 6ක් වෙනුවට ඕනි නම් මේක LiquidCrystal lcd(12, 11, 5, 4, 3, 2); කියලා ගන්නත් පුළුවන්.
                              void setup() කොටසේදි තියෙන පළවෙනි lcd.begin() කියන කොටසෙන් තිරයේ දත්ත පෙන්නන ඕනි පේලි ගණනයි තීරු ගණනයි තෝරන්න ඕනි { lcd.begin(cols, rows) }. මේ LCD එක 16x2 නිසා lcd.begin(16,2) විදිහට දෙන්න ඕනි. lcd.print() වලින් අපිට ඩිස්ප්ලේ කරන්න ඕනි දත්ත දෙන්න පුළුවන්. lcd.setCursor() කියන එකෙන් අපිට ඕනි තැනට cursor එක ගෙනියන්න පුලුවන්. { lcd.setCursor(cols, rows) } 
       මෙතන ලියලා තියෙන්නේ LCD එකෙන් කරන්න පුළුවන් බොහොම සරල වැඩක් විතරයි. මීට වඩා ගොඩක් වැඩ කරන්න පුළුවන්.ඒකට උනන්දුවක් වෙන විදිහට LCD එකෙන් දාන්න පුළුවන් වැඩක් තියෙන file එකක් දෙනවා. මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා Arduino එකට upload කරලා බලන්න කොහොමද කියලා. ගැටළු තියෙනවනම් අහන්න පුළුවන්.

  • ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්- 2KB (zip file)

December 20, 2018

පික්සල් බිලියන 24ක චීන පින්තූරේ

                                       දැන් ටික දවසක් ඉදලා ෆේස්බුක්, ට්විටර් වගේම වෙබ් අඩවි වල පවා "ක්වන්ටම් තාක්ෂණයෙන් චීන සැටලයිට් එකකින් ගත්ත" පික්සල් බිලියන 24.9 ක ඡායාරූපයක් කියලා එකක් ලින්ක් එකකුත් එක්ක හුවමාරු වෙනවා දකින්නට ඇති. ඒත් ඇත්තටම මේක ගත්තේ සැටලයිට් එකකින් ද?

අරුම පුදුම පින්තූරෙ
             මේ විදිහට හුවමාරු වුණේ චීනයේ ෂැන්හයි නගරයේ කුරුලු ඇසකින් පෙනෙන අයුරින් සැකසූ 3600 ක ප්‍රමාණයක් දර්ශණය වෙන පැනොරාමා ඡායාරූපයක්. මේකෙ විශේෂත්වය තමයි මේකෙන් නගරයේ දර්ශණය වෙන ඕනෑම ඈතින් තියෙන තැනක් වුණත් ඉතා පැහැදිලි වෙන විදිහට විශාල කරලා බලන්න පුළුවන් වුණ එකයි. කොච්චර පැහැදිලිද කියනවනම් මේකෙන් පෙනෙන වාහන වල අංක තහඩු වල අංක වුණත් කියවන්න පුළුවන්, ගමන් කරන මිනිස්සුන්ගේ මූණ පවා අඳුරගන්න පුළුවන්. http://sh-meet.bigpixel.cn කියන ලින්ක් එකෙන් මේ ඡායාරූපෙ ඕනෙ කෙනෙක්ට බලන්න පුලුවන්. ගිහින් විශාල කරලා බලනකොට තේරේවි කොච්චර පැහැදිලිද කියලා.

කොහොමද මෙහෙම පැහැදිලි වෙන්නේ?
                         මේ තරමට පැහැදිලි වෙන්න හේතුව තමයි මේ රූපය හැදිලා තියෙන්නෙ පික්සල් බිලියන 24.9 ක විභේදනයකින් වීම. පික්සල් එකක් කියන්නේ ඩිජිටල් විදිහට හැදෙන රූපයක කුඩාම අගයයි. ඉතිං ඒ වගේ රූපෙක තියෙන පික්සෙල් ගාන වැඩිවෙන්න, වැඩිවෙන්න රූපයේ පැහැදිලි බව වැඩි වෙනවා. මේක පික්සල් ඝණත්වය විදිහට (Pixel Density) කියලා හඳුන්වනවා. 
                  ඡායාරූපෙ පැහැදිලි වෙන තරමටම ඒ වෙනුවෙන් යන ඉඩ ප්‍රමාණයත් වැඩි වෙනවා (සාමාන්‍ය කැමරා ෆෝන් එකකින් ගන්න ෆොටෝ වලට වඩා පික්සල් ගණන වැඩි ෆෝන් එකකින් ගන්න ෆොටෝ වැඩි මතකයක් ගන්නේ ඒ නිසයි). ඒ වගේම මේ නගරයේ ගත්ත ඡායාරූපයෙත් ධාරිතාව ගිගාබයිට් සියගණනක් වෙනවා.

සැටලයිට්, ක්වන්ටම් ලෝක බොරුව!
                       මේ ඡායාරූපය ගන්න අවශ්‍ය තාක්ෂණය දීලා තියෙන්නෙ චීනයේ Jingkun Technology (http://bigpixel.cn/) සමාගමයි. අලුත් ලෝකයට ගැලපෙන විදිහට ක්ල්වුඩ් තාක්ෂණය යොදාගෙන ඡායාරූප ගන්න Jingkun Technology සමාගමට හැකියාව තියෙනවා. 2015 වසරේදී ෂැන්හයි නගරයේ පුවත් කාර්‍යාලයෙන් කරපු ඉල්ලීමකට අනුව තමයි මේ වැඩේ කරලා තියෙනේ.ඡායාරුපය ගන්න යොදාගෙන තියෙන්නෙ නගරයේ තියෙන ප(ර්)ල් (Oriental Pearl Tower in China) කියන සන්නිවේදන කුළුණයි (සැටලයිට් නෙවෙයි හොඳේ!). 
                     සමාගමට අනුව මේ සම්පූර්ණ රූපය පික්සල් බිලියන 195 කින් යුතු වෙනවා. මේ ගත්ත පින්තූරය ආසියාවේ විශාලතම, ලෝකයෙන්ම තුන්වෙනියට විශාල ඡායාරූපය වෙනවා. මේ පැනොරාමා පින්තූරය සාමාන්‍ය කැමරාවකින් ගන්නවාට වඩා 2000 ගුණයක අගයක් තියෙන පින්තූර රාශියක එකතුවක් වෙනවා. කලින් කිව්වා වගේම මේකට කිසිම සැටලයියට් තාක්ෂණයක් යොදා ගෙන නෑ. අධි විභේදන කැමරා වලින් ගත්තු ඡායාරූප විශේෂ තාක්ෂණයක උදව්වෙන් එකට එකතු කිරීමක් විතරයි කරලා තියෙන්නේ.ඒ හින්දා මේ ගැන ට්විටර් වල දාපු පෝස්ට් පවා වෙනස් කරන්න වෙලා තියෙනවා.
ලස්සන වගේ නෙවෙයි ඉතිං ප්‍රශ්ණ ආවම
                   මේ ෆොටෝ එකේ ලස්සන වගේම තව ලොකු ගැටලුවකුත් මතුවෙලා තියෙනවා. මේ විදිහට කිලෝමීටර් ගණනක් ඈතින් ඉන්න අයව වුණත් ඉතා පැහැදිලිව බලාගන්න පුළුවන් නිසා වැරදි කෙනෙක් අතට ගියෝතින් ඒ අයගේ පෞද්ගලිකත්වයට තර්ජනයක් වෙන්න පුළුවන්. මේ ගැන පියවර ගන්නත් දැන් චීනයට සිදුවෙලා.

November 27, 2018

පෙති නැති ගුවන් යානා

                                    ගුවන් යානයක් කිව්වම ඉස්සරහින් හරි , තටු දෙකේ හරි එන්ජින් දෙකකට සම්බන්ද වුණු අවරපෙති දෙකක් එක්ක ලොකු ශබ්ධයක් ඇති කරගෙන අහසට එසවෙන විදිහෙ  හිතේ මැවෙන එක රූපයක් තියෙනවා. දැනට අවුරුදු 100 කට කලින් ගුවන් යානය හොයාගත්තු කාලෙ ඉඳලාම ගුවන් යානය මේ විදිහට ඉන්ධන වලින් හරි, බැටරි වලින් හරි ක්‍රියාත්මක වෙන අවරපෙති වලින් නැත්නම් ෆෑන් වලින් ගන්න සුළඟේ පීඩන බලයෙන් තමයි ගුවන් යානය ගමන් කලේ.
                                          ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ (MIT - Massachusetts Institute of Technology) ඉංජිනේරු කණ්ඩායමක් ගුවන් යානයේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න සමත් වෙලා තියෙනවා. ඔවුන් සැලසුම් කරපු ගුවන් යානයේ එන්ජිමක් හරි වෙනින් කිසිම සෙලවෙන කොටසක් ඇතුලත් වෙන්නෙ නෑ. ඒ වෙනුවට ගුවන් යානයට අවශ්‍ය බලය ලබාගන්නේ අයනික වාතය (ionic wind) මගිනුයි. ඒ නිසා සම්පූර්ණයෙන්ම නිශ්ෂබ්ධයි. ඒ වගේම ඇන්ජින් වගේ සංකීර්ණ උපාංග නැති නිසා ගොඩක් සරල වගේම ඉතා සැහැල්ලුයි.
                                            MIT හි ගගන විදයාව ගැන මහාචාර්‍යය කෙනෙක් වෙන ස්ටීවන් බැරට් කියන විදිහට ඔහුට මේ අදහස ඇවිත් තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධයක් වුණු Star Trek කතා මාලාවේ තිබූ යානා මගිනුයි. බැරට් මේ ගැන පරීක්ශණ කරන්න පටන් ගෙන තිබුණේ මීට අවුරුදු 9 කට විතර කලින් ඉඳලයි. කිසිම චලනය වන කොටසක් නැතිව ගුවන් යානයකට අවශ්‍ය ප්‍රචාලන ශක්තිය ලබාදෙන ක්‍රමයක් ගැන සොයමින් සිටියා. ඒ වෙලාවෙදි 1920 දී සොයාගත්ත භෞතික විද්‍යා මූලධර්මයක් වෙන ionic wind නැත්නම් electroaerodynamic thrust (ගතික විද්යුත් තෙරපුම?) මේ පරීක්ෂණයට යොදාගන්න පටන්ගත්තේ. සරල විදිහට කිවුවොත් සිහින් දිගැති එකක් අනෙකට වඩා කුඩා ඉලෙක්ට්‍රෝඩ දෙකකට අවශ්‍ය විදුලිය සැපයුවාට පස්සෙ ඉලෙක්ට්‍රෝඩ දෙක හරහා ගමන් ගන්නා වාතය උපයෝගී කරගෙන ගුවන් යානයට අවශ්‍ය තෙරපුම් බලය ලබා ගන්න පුළුවන්.
                        වසර ගණනාවක් මේ තාක්ෂණය උපයෝගී කර ගත්තේ කුඩා විනෝදාත්මක උපකරණ සෑදීමටයි. නමුත් මගීන් ගෙන යන තරමේ විශාල ගුවන් යානා ගමන් කරවීමට තරම් බලයක් ලබා ගැනීමට හැකියාවක් තිබුණේ නෑ. ඉතිං මේ තාක්ෂණය ඒ වගේ හැකියාවක් තියෙන තත්වයට ගේන්න ලොකු මහන්සියක් වෙන්න බැරට් ඇතුලු කණ්ඩායමට සිදුවුණා. ඒ වගේම මේ වෙනුවෙන්  කිලෝවොට් සිය දහස් ගණනක බලයක් උවමනා වෙනවා. ඒ නිසා ඒ බලය ලබාගන්න බැටරි හෝ සූර්‍ය කෝෂ පද්ධති යොදා ගන්න වෙනවා.
                                මේ ගැන කරපු පරීක්ෂණ උපයෝගී කරගෙන රාත්තල් 5 ක් පමණ බර මීටර් 5 ක් පමණ දිග තටු යුගලක් තියෙන ග්ලයිඩරයක් හදලා තියෙනවා. මේ ග්ලයිඩරයේ ඉදිරිපස තටු අතර සිහින් කම්බි පෙලක් තියෙනවා. ඒක වැඩ කරන්නෙ ධන ඉලෙක්ට්‍රෝඩය විදිහටයි. ඍණ අග්‍රය විදිහට වැඩ කරන්න පිටුපස තටුවේ තරමක් ඝණකම ඉලෙක්ට්‍රෝඩයක් තියෙනවා. බලය ලබා ගන්න ඕනි වෙන ලිතියම්-පොලිමර් බැටරි අසුරලා තියෙන්නෙ ගුවන් යානයේ රාමුවේ. මේ ගුවන් යානයේ ක්‍රියාකාරිත්වයට අධි වෝල්ටීයතාවක් ඕනි වෙන නිසා බැටරි වල බලය අධි වෝල්ටීයතාවකට පරිවර්තනය කරන්න අවශ්‍ය සැහැල්ලු උපාංගය සෑදුවේ ඉලෙක්ට්‍රොනික පරීක්ෂණ විද්‍යාගාරයේ මහාචාර්‍ය ඩේවිඩ් පෙරොල්ට්ස් විසිනුයි. ඒ පරිවර්තකයෙන් බැටරියේ බලය වෝල්ට් 40,000 ක ආරෝපණයක් ඇතිකරන්න හැකියාව තියෙනවා.
                                 වයර් වලට බලය ලබා දුන්නාට පස්සේ වාතයේ තියෙන ඍණ ආරෝපිත වා අණු වේගයෙන් තල්ලු කර දැමීමේ හැකියාව ලැබෙනවා. ඉදිරිපසින් අයනීකරණය වුණු වා අණු පසුපස තියෙන ඉලෙක්ට්‍රෝඩයෙන් ඇදගනු ලබනවා. මේ ආකාරයෙන් වේගයෙන් ගමන්කරන වා අණු නිසා ගුවන් යානයට ඉදිරියට යන්න බලය ලැබෙනවා. පරීක්ෂණය කරපු ග්ලයිඩරයට මීටර් 60 ක දුරක් (පරික්ෂණය කරපු ගොඩනැගිල්ලේ උපරිම දුර) ඉතා පහසුවෙන් ගමන්කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ විදිහට කරපු පරික්ෂණ වාර 10 ම සාර්ථක වෙලා තියෙනවා. 
                                        මේ පරික්ෂණ යොදාගෙන විශාල ගුවන් යානා නිෂ්පාදනය කරනවා නම් ඒවාට විශාල ඉලෙක්ට්‍රෝඩ වගේම බලසැපයුම් පද්ධති සැකසිය යුතු වෙනවා. ඒ වගේම භෞතික විද්‍යා මූලධර්ම ගැන, ආරක්ෂාව ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි වෙනවා.මේ නිසා ප්‍රායෝගික විදිහට විශාල ප්‍රමාණයේ ගුවන් යානයක් එළිදැකීමට තව බොහෝ කාලයක් ගතවේවි.

November 20, 2018

හෙළකුරේ පරිගණක ආගමනය

                                  ස්මාර්ට්ෆෝන් එකක් තියෙන කෙනෙක් නම් හෙළකුරු ගැන නොදන්නවා නම් ලොකු පුදුමයක්. ඇන්ඩ්‍රොයිඩ්  වලදි හරි ඇපල් වලදි හරි සිංහලෙන් ටයිප් කරන්න උදව් වෙන ඇප් එක තමයි හෙළකුරු කියන්නෙ. හෙළකුරු ස්මාර්ට් ෆෝන් එකට තිබුණත් පරිගණකයට සම්පූර්ණයෙන් නිම කරපු සංස්කරණයක් ලබාදීලා තිබුණෙ නෑ. ඒත් මීට දින කීපයකට කලින් පරිගණකයටත් හෙළකුරු ලැබුණා!
 
                                 හෙළකුරු පරිගණකයට දෙන්න භාෂා ආයතනය පටන් ගත්තේ අවුරුද්දකට විතර කලින් ඉදන්මයි. ක්‍රෝම් වෙබ් බ්‍රවුසරයට එන එක්ස්ටෙන්ෂන් එකක් විදිහට තමයි මුලින්ම හෙළකුරු ආවේ. ඒ වෙබ් අඩවි වලදී සිංහල භාවිතය පහසු වෙන්න.
                                පරිගණකයේදී සිංහල ඕනි නම් විජේසේකර යතුරුපුවරුව ස්ථාපනය කරගන්න ඕනි. ඒත් ඒකට අලුත් කෙනෙක් නම් ටයිප් කරන්න ටිකක් අමාරු වෙනවා. ඒත් හෙළකුරු වලින් ඒ ක්‍රමයට අමතරව සිංග්‍රීසි ක්‍රමයටත් ටයිප් කරන්න පුළුවන් නිසා ඒ අපහසුව නැති වෙනවා. හෙළකුරු වින්ඩෝස්, මැක් වගේම ලිනක්ස් වලටත් ගන්න පුළුවන්. https://www.helakuru.lk ට ගියාම මේ සොෆ්ට්වෙයා එක ලබා ගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරන්න ගියාම PERSONAL USE / COMMERCIAL USE කියලා සංස්කරණ දෙකක් තියෙනවා COMMERCIAL USE ඒ කියන්නෙ වාණිජ වශයෙන් තියෙන එක රුපියල් 1990.00 වෙනවා. PERSONAL USE එක නම් නොමිළයේම ලබා ගන්න පුලුවන්. ඒත් කැමති කෙනෙක් ඉන්නවා නම් රුපියල් 990.00 ක් දීලා ගන්නත් පුලුවන්. ඒකෙන් මේ මෘදුකාංගය තව තවත් දියුණු කරන්නට ශක්තියක් වේවි.
                                 තවම අලුත් නිසා සුලු සුලු අඩුපාඩු වගේම දෝෂ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම සමහර මෙහෙයුම් පද්ධති වල වැඩ නොකරන්නත් ඉඩ තියෙනවා. ඒ දෝෂ ඉදිරි සංස්කරණ වලදී නිවැරදි කර පැමිණේවි. මේ වගේ වටිනා මෘදුකාංග නිර්මාණය කිරීම විතරක් නෙවෙයි ඒවා නොමිළයේම ලබා දෙන භාෂා ආයතනයටත් එහි ප්‍රධානියා වෙන ධනික පෙරේරා ටත් ස්තූතිවන්ත විය යුතුයි.

November 9, 2018

අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් - 4

                   අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් කරන හැටි ගැන මීට කලින් පෝස්ට් කීපයක් tech සයුරෙන් කියලා දුන්නා. මේ කියන්න යන්නෙත් ඒ ප්‍රොජෙක්ට් එකට උදව්වක් වෙන අඩුවට හොයා ගන්න පුළුවන් සෝලා චාජර් එකක් ගැනයි.
                    මේ චාජර් එක ගෙන්නුවේ Ali express එකෙන්. මේකේ ප්‍රමාණය 120*65.5*1.5mm විතර ඇති. ඒ කියන්නෙ ප්‍රමාණයෙන් කුඩා ඉඩක තියන්න හරි ඇණ තවු වලින් බිත්තියක හයි කරලා තියාගන්න හරි පුළුවන්. 12V/24V Auto Switch නිසා බැටරිය 12V උනත් 24V උනත් කිසිම ගැටලුවක් නැතුව චාජරය වැඩ කරනවා.
                මේ චාජර් එක ඩිජිටල් එකක්. ඒ නිසා බැටරිය චාජ් කරන්න PWM (Pulse Width Modulation - ස්පන්දයක පළල සැකැස්ම) විදිහට. ඒ නිසා බැටරිය Over Charge වෙන්නෙ නෑ. බැටරියේ ආරක්ෂාවට Short Circuit Protection, Over Load Protection තියෙනවා. 5V USB Power Outlet 2 න් මොබයිල් ෆෝන් චාර්ජ් කරගන්න පුළුවන්.
             බැටරිය චාර්ජ් වෙන එක, චාර්ජ් වෙලා තියෙන ප්‍රමාණය බලන්න, චාර්ජ් වෙන්න ඕනි වෝල්ට් ප්‍රමාණය, Overload වෙනකොට Disconnect වෙන්න ඕනි වෝල්ට් ප්‍රමාණය ට අදාල සැකසුම් අපිටම හදාගන්න පුළුවන්.
           චාර්ජර් එක හයි කරන විදිහ ගැන එවන පෙට්ටියෙම තියෙනවා. සරලව ඒක කරන්නෙ මෙහෙමයි. මුලින්ම චාර්ජර් එක බැටරියට කනෙක්ට් කරලා දෙවෙනියට පැනල් එක කනෙක්ට් කරන්න ඕනි. අන්තිමට තමයි output එකෙන් උපකරණ සම්බන්ධ කරන්නෙ.

            දැනට මාස දෙකක් විතර ටෙස්ට් එකකට පස්සෙ මේ පෝස්ට් එක දාන්න හිතුනේ මේ ඩිවයිස් එක හොඳට වැඩ කරනවද කියලා බලන්න ඕනි නිසයි. ලංකාවෙ මුදලින් රු.1,140 ක් විතර වෙනවා. ගානෙ හැටියට නම් සෑහෙන්න වටිනවා. බැටරියේ ප්‍රමාණය අනුව 10A,20A,30A ධාරාවන් වලින් ගන්න පුළුවන්. මේ වගේ සොලා චාජර් එකක් හොයපු කෙනෙක් ඉන්නවන්ම් මෙතනින් ගිහින් ගන්න පුළුවන්.

අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් - 1
අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් - 2
අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් - 3

එකතුවෙන්න...

 
         
 

tech එකේ ඉන්න අය

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

tech සයුර Copyright © 2014 - All rights reserved.