අපිටත් "ඕපන් සෝස්" වෙන්න බැරිද?

මම අද ලියන්නෙ ටිකක් වෙනස් දෙයක් ගැන. මම මේක ලියන්න පටන්ගන්න කොටම කියන්න ඕනි. මම මේ කතා කරන්නේ දේශපාලනය නම් නෙවෙයි. දේශපාලනය කියන්නේ මට එපාම කරපු දෙයක්. මම මේ ලියන්නේ මට හිතෙන,දැනෙන දේ.
අපේ රටට පරිගණකය හඳුන්වාදීලා දැන් අවුරුදු 25ක් විතර වෙනවා. ඒත් ඒක ටිකක් ප්‍රචලිත වෙන්න පටන් ගත්තෙ ලඟක ඉඳලා. සාමාන්‍ය පරිගණකයක මිල පවා ඒ කාලයේ සොච්චම් පඩියකින් මාසයක් ජීවත්වෙන පවුල් වලට දරාගන්න අපහසු වෙන්න ඇති. එතකොට ඉන්ට(ර්)නෙට් එහෙමත් එච්චර ප්‍රසිද්ධ නෑනෙ. ටික කාලෙකට පස්සේ අලුත්ම පරිගණක වෙනුවට, වෙනත් රටක පාවිච්චි කරපු පරිගණක අපේ රටේ වෙළඳපොලට එක් වීමත් සමග මේ තත්වය හොඳ පැත්තකට හැරුනා. ඒ ඒවායේ මිල තරමක් අඩු වීම නිසා. අපේ ගම් වල කෙල්ලො කොල්ලො මේ අලුත් උපකරණයට ටික ටික හුරු වුණා.
      මේක අරගතත ගොඩක් අය කලේ දිගට හරහට ගේම් ගහපු එක තමයි. ඒ කාලේ නිසි පරිගණක අධ්‍යාපනයක් නොතිබීමත් ඊට හේතුවක් වෙන්න ඇති. ඉතින් මේකෙන් කරන්න පුලුවන් ලේසිම දේ.. ඒ කිව්වෙ ගේම් ගැහිල්ල අපේ අය සාරෙට කලා.. දැන් උනත් පරිගණකයක් ගන්න පොඩි එකෙක් ගියොත් අහන්නේ "අයියේ මේකෙ මොනවද ගහන්න පුලුවන් ගේම්?" කියලා. පරිගණක විකුනණ අයත් මේක හොඳ වෙළඳ උපක්‍රමයක් විදිහට යොදා ගත්තා. කොහොම හරි මෙහෙම ගෙදර අරන් ආව පරිගණකය පණ ගන්වපු ගමන්ම මේ අයට පෙනුනේ පාට හතරෙ කො‍ටු හතරක් (වින්ඩෝස්) එක්ක ආපු අපූරු පසුබිමක තියෙන රූප ගොඩක්.. මේක නීතිවිරෝධී එකක් ද නීත්‍යානුකූල එකක් ද තියා මෙහෙයුම් පද්ධතිය(opereting system) එක කියන් එකවත් මේ අහිංසකයො දැන්ගෙන හිටියෙ නැති තරම්.. මොකක් හරි ලෙඩක් ආවොත් අර 'පෙට්ටිය' වගේ එකේ තියෙන වයර් ටික ගලෝල දාලා ආයෙත් විකුනපු කඩේට ගිනිච්චාම ඒකෙ අයියා "මල්ලි,මේක ෆොමැට් කරන්න ඕනි" කියලා කිව්වහම තේරුම නොදන්නව උනත් "හා" කියලා පස්සේ රු 150-200 ක් දීලා හදාගෙන් ආයෙ ගෙදරට උස්සගෙන යනවා.හරි විදිහට රු 50000 - 100000 විතර දීලා කරගන්න ඕනි වැඩේ(නීත්‍යානුකූලව සොෆ්ට්වයා මිලදී ගන්නවනම්) රු 150-200 කට අහවර කරගන්නවා. කොල්ලෝ මේ වැඩේට ටිකක් දක්ශ උනත් කෙල්ලන්ට මේක ටිකක් අමාරු කේස් එකක්.ඉතින් කොම්පියුටර් උගන්නන්න අම්මල තාත්තලා මේ අයව "කොම්පියුටර් කෝස්" එකකට යවනවා. ඒකෙ උගන්නනෙ ඔ‍ෆිස් (ඒ කාලෙ පරිගණකය දන්නවා කියන්න තිබුන මූලික සුදුසුකම).මොන ඔ‍ෆිස් ද? MS Office.ක්‍රැක් ද?. අනේ දන්නෑ!.මේක තමයි තිබුන තත්වේ.

       කොහොම උනත් අපේ රටේ අය දක්ෂයි නේ. ඔය හඳට රොකට් යවන ඇමරිකාවේ නාසා ආයතනය, ලොකු ලොකු සොෆ්ට්වෙයා සමාගම් වල වැඩ කරන්නෙ අපේ රටේ අය තමයි. ඒක නිසා  පරිගණකයෙන් කරන්න පුලුවන් වැඩ ගැන ඉගෙන ගන්නත්, ඒකෙන් ලොකු ලොකු වැඩ පෙන්නන්ත් අපේ අය දකෂ වෙලා තියෙනවා. අද ඉන්ටනෙට් එකේ විවිධ මාතෘකා ගැන සිංහලෙන් ලියපු ලිපි ඕනෑ තරම් තියෙනවා. මගේ බ්ලොග් එක වගේම පරිගණකය ගැන විස්තර තියෙන බ්ලොග් , වෙබ් සයිට් ගොඩක් තියෙනවා. ඊට අමතරව තව බොහෝ දේවල් ඉන්ටර්නෙට් එකෙන් අපේ භාශාවෙන් කියවන්න තියෙනවා.
ඒ උනත් අපි තාමත් අර වෙන රටකින් ආපු OS (මෙහෙයුම් පද්ධතිය) ක තමයි පාවිච්චි කරන්නේ. ඕකෙන් කීයෙන් කීදෙනාද නිවැරදිව සල්ලිදීල ගත්ත OS තියෙන්නෙ? . නොමිලේ දෙන ඕපන්සෝස් ඒ කියන්නේ විවෘත කේත තියෙන OS (ලිනක්ස්. උබුන්‍ටු වැනි) බාවිතා කරන අය නැතුව නෙවෙයි. ඒත් ඒවගේ අය ඉන්නෙ බොහොම ටිකයි. මේකට හේතුව මොකක්ද? අපේ රටට මේ උපකරණය ලැබිලා අවුරුදු 25 ගත වුණත් තවමත් අපිට අපේම කියලා OS එකක් හදාගන්න බැරිවෙලා. මේක මහා ලොකු දෙයක් වගේ උනාට ඒ වැඩෙ ලස්සනට කරපු අය ඉන්නවා. හන්තාන ලිනක්ස් කියලා අපේ රටේ කට්ටියක් හදපු ලිනක්ස් පාදක OS එකක් තියන බව ගොඩක් අය දන්නවා ඇති. ඒ අය මේක දෙන්නෙ සත පහක් වත් අරන් නෙවෙයි. ඒක අපේ රටේ ජනප්‍රිය කරන්න ඒ අය දරන උත්සහය මම දැකල තියෙනවා.
      ඒ උනාට මේකට මූලික වෙන්න ඕනි අපේ ආණඩුව නෙවෙයි ද? ඔය ලොකු ලොකු ව්‍යාපෘති වලට මුදල් වෙන් කරන මේ අයට මේක කල්පනා උනේ නැත්ද? රජය මැදිහත් වීමෙන් අපිට ආවෙනික අපේම OS එකක් හදන්න හරි හන්තාන වගේ තියෙන OS එකක් දියුනු කරන්න සහයෝගය දෙන එක තමයි කරන්න ඕනි දේ කියලා මම හිතන්නේ. ඒකට උදව් වෙන්න ඕනතරම් දක්ෂ පරිගණක ඉංගිනේරුවො අපේ රටේ ඉන්නව. මේක කෝටි ගණන් වියදම් කලයුතු වැඩක් නොවෙයි. ඊට පස්සේ පාසල් වල මේ වැඩ ගැන දැනුවත් කරාම අපේ පොඩ්ඩංගෙ හිත් මේ ගැන අනිවාර්ය්‍යෙන් ඇදිල යනවා.තව රාජ්‍ය ආයතන වලටත් මේ OS එක හඳුන්වා දෙන්න පුලුවන්. එතකොට මේකට හරියන මෘදුකාංග ලියන්න අපෙ රටෙ අයටම පුලුවන්. මේ විදියට කලොත් දැන් ඉන්න පරම්පරාව නැති උනත් ඊලඟ පරම්පරාවෙ අය හරි අපේ දෙයකට හුරු වෙයි. මේ දේ හරියට කෙරුනොත් වයිරස් ප්‍රශ්ණ නැති නොමිලේ දෙන ,අපිට ගැලපෙන OS එකක් නිර්මාණය වේවි.
තව වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි අපෙ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂය ධාරාව(ICT). පරිගණකය පිලිබඳ පාසල් සිසු සිසුවියන්ට උගන් වන්න නෙ ඔය විෂය අධයාපන පද්ධතියට ඇතුලත් කලේ. මේ ICT විශය නිර්දේශයේ උගන්වන මෘදුකාංග වාණිජ මෘදුකාංගයි. උදාහරණයක් ලෙස ඇඩොබි ෆොටෝශොප්, මයික්‍රොසොෆ්ට් ඔ‍ෆිස් දක්වන්න පුලුවන්. මේ වෙනුවට අපිට නොමිලේ දෙන ඕපන් සෝස් මෘදුකාංඟ ඇතුලත් කරන්න බැරිද? ලිනක්ස් හුරු නැතැයි කියමුකෝ. ඒවෙනුවට ලිනක්ස් වින්ඩෝස් OS දෙකේම වැඩකරන මෘදුකාංඟ යොදා ගැනීමට අපට පුලුවන. ඒ අනුව ෆොටෝ ෂොප් වෙනුවට ගිම්ප්(Gimp) වගේම මයික්‍රෝසොෆ්ට් ඔ‍ෆිස් වෙනුවට ඕපන් ඔ‍ෆිස් භවිතා කරන්න පුලුවන්. අපේම කියා OS නැති උනත් අඩුම තරමින් ඕපන්සෝස් සොෆ්ට්වේයා වලටවත් ළමයි හුරුවේවි. කෙසේ කොහොම කීවත් අපෙ රටේ ලොකු උදවියගේ සැලසුම් හා පිඹුරුපත් සැකසීම පමණි. ක්‍රියාවට නැංවීම් නැත.



මා මෙතෙක් කියූ දෙයින් අදහස් වෙන්නේ අපේ රටින් වණිජ මෘදුකාංඟ ඉවත් අලයුතුය යන්න නොවේ. ඒවාද තිබිය යුතුය. නමුත් අපෙ රටේ මිනිසුන්ට නොමිලේ දෙන ඕපන් සෝස් ඒවාට හුරු කලහොත් ඒ අය තවදුරත් ක්‍රැක් කරන ලද නීතිවිරෝධී මෘදුකාංඟ භාවිතය අඩු වේවි.

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features