June 30, 2015

ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පත

                        අපේ රටේ පුරවැසියන්ට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ලබා දීමට වැඩ කටයුතු ඇරඹී ඇති බව ඇතැම්විට දන්නවා විය හැකිය. දැන් තිබෙන සාමාන්‍ය හැඳුනුම් පත වෙනුවට ක්‍රෙඩිට් කාඩ් එකක් වැනි හැඳුනුම් පතක් නිකුත් කිරීමට දැන් කටයුතු සිදු වෙමින් පවතී. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය සාමාන්‍ය ක්‍රමයට මෙන්ම ඉලෙක්ට්‍රොනිකව කියවිය හැකි පරිදිද සකසා තිබීමයි (නව රියදුරු බලපත්‍රය මෙන්). මේ එම ඉලෙක්ට්‍රොනික හැඳුනුම් පත ගැන විස්තරයක්..
ඉලෙක්ට්‍රොනික හැඳුනුම් පතක අවශ්‍යතාවය
                                     අවුරුදු 40 ක පමණ සිට අපේ රටේ භාවිතා වන්නේ හස්තමය (Manual) ලියාපදිංචි ක්‍රමයකි. එනම් පුද්ගල විස්තර සියල්ල ලියා තබා ඇත්තේ කඩදාසි මතය. ඒ නිසා මේවාට ඉලෙක්ට්‍රොනිකව පිවිසිය නොහැක. මේ හේතුවෙන් ඉතා පහසුවෙන් ව්‍යාජ හැඳුනුම් පත් සැකසිමේ හැකියාව පවතී. එසේම එම හැඳුනුම් පතේ තොරතුරු අසත්‍ය හෝ ව්‍යාජ කියා එවෙලෙහිම පරික්ෂා කල නොහැක. අපේ රටේ දැනට 15% - 20% අතර ප්‍රමාණයක හැඳුනුම් පත් ව්‍යාජ ඒවා ලෙස සැලකේ. එනම් මේ දැනට පවතින ක්‍රමයේදී එකම අංකයක් ඇති හැඳුනුම් පත් වුවද මුද්‍රණ ක්‍රම මගින් පහසුවෙන් වෙනස් කල හැක. 
පරමාර්ථය
                             ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පත් නිකුත් කරන වැඩ පිළිවෙලේ මූලිකවම සිදු කරන් කටයුත්තක් වන්නේ පුද්ගල තොරතුරු දත්ත සමුදායක (Database) ‍රැඳවීමයි. එය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා සිදුවේ. පුද්ගලයාගේ ඇඟිලි සලකුණු ,ලේ වර්ගය හා අනෙකුත් තොරතුරුද මෙහි ඇතුලත් වේ. තවද මෙහි ඇති වාසියක් වන්නේ මෙහි දත්ත ‍රැඳවෙන්නේ ඩේටාබේස් එකක් මත නිසා එහි තොරතුරු යාවත්කාලීන කිරීමට ඇති හැකියාවයි. උදාහරණයක් ලෙස ශිෂ්‍යකුට නිකුත් කල හැඳුනුම් පතක් පසුව 'වැඩිහිටි' කියා වෙනස් කිරීමට ඉතා පහසුවෙන් පුලුවන. එසේම බලයලත් පුද්ගලයන්ට හැඳුනුම් පත නිවැරදිම එකක් දැයි පහසුවෙන් හා වේගවත්ව පරික්ෂා කිරීමේ හැකියාව මෙමගින් ලැබේ.
ප්‍රයෝජන
                        ඉහත දැක්වූ ප්‍රයෝජන වලට අමතරව තවත් ප්‍රයෝජන මෙම ඉලෙක්ට්‍රොනික හැඳුනුම් පතක පවතී. ප්‍රධාන වශයෙන්ම ජාතික ආරක්ෂාවට කෙලින්ම වාගේ මින් ප්‍රයෝජන අත්වේ. අපරාධ මැඩ පැවැත්වීමට මෙන්ම අපරාධ කරුවන් හඳුනා ගැනීමටද මින් සහය ලබා ගත හැකිය. පරිපාලන කටයුතු වලදී පුද්ගලයින් හඳුනා ගැනීමටත්, ව්‍යාපාර හා මූල්‍ය කටයුතුවලදී මෙන්ම සාමාජීය කටයුතු වලදීද මින් ප්‍රයෝජන ගත හැකිය. රියදුරු බලපත් නිකුත් කිරීම, ඡන්දය පලකිරීමේදී මෙන්ම විභාගවලදීද මෙය ප්‍රයෝජනයට ගත හැකිය. තවද හදිසි අනතුරු වලදී අවශ්‍ය වන රෝගියාගේ ලේ වර්ගය වැනි දේ ද ඉතා පහසුවෙන් නිර්ණය කර ගත හැකිය.
දත්ත ආරක්ෂාව
ඉලෙක්ට්‍රොනික ක්‍රම වලට බොහෝ දෙනෙක් යොමු නොවීමට ප්‍රබලම හේතුවක් ලෙස ආරක්ෂාව පිළිබඳ ඇති අවිශ්වාසය හැඳින්විය හැකිය. නමුත් ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී ඒවායේ තොරතුරු රඳවා තබන්නේ අධි ආරක්ෂාවක් යටතේය. සියලු තොරතුරු  බලයලත් නිලදාරියෙකුගේ අධීක්ෂණය යටතේ තහවුරු කල ඒවා වේ (Digitally signed by the officers at NPR). එසේම තැන්පත් කරන දත්ත සියල්ල කේතකරනය (Encrypt) කරනු ඇති. දත්ත වලට ප්‍රවේශවීමට හැකිවන්නේ බලයලත් නිලධාරීන්ට පමණි.එවිට දත්ත සොරකම් කිරීම හෝ වෙනස් කිරීම කල නොහැක. පරිගණක ජාලයට ඕනෑම මොහොතක පිවිසීමේ හැකියාව පු.ලි.දෙපාර්තමේන්තුවට ඇත.
දත්ත ‍රැස්කිරීම
                                     මෙම ක්‍රියාවලියේ පවතින වඩාත් භාරදූර මෙන්ම වැඩි සැලකිල්ලක් දැක්විය යුතු පියවරයි. හස්තමය ලෙස හා ඩිජිටල් ලෙස මෙහිදී තොරතුරු එක් ‍රැස් කරනු ලබයි. නම , ගම ‍රැකියාව වැනි විස්තර හස්තමය ක්‍රමයටද ඇඟිලි සලකුණු, ඡායාරූප ගැනීම  ඩිජිටල් ක්‍රම මගින් සිදු කරයි. 
                           ඩිජිටල් තොරතුරු ඇතුලත් කිරීමට ජංගම ක්‍රමයක් භාවිත කරනු ඇති අතර තත්‍ය කාල (real time/batch upload) හා විශේෂ ආරක්ෂාවක් ඇති WAN ජාලයක් ඔස්සේ ප්‍රධාන දත්ත ගබඩාවට දත්ත ‍රැස් කිරීම සිදු කරයි. මේ කාර්‍යයේදී මෙයටම ආවේනික වූ මෘදුකාංඟ හා උපකරණ භාවිත කරනු ලබයි.
ඉලෙක්ට්‍රොනික හැඳුනුම් පත
                             මේ දත්ත එක් ‍රැස් කිරීමෙන් අනතුරුව පුද්ගලයන් හට මේ නව හැඳුනුම් පත නිකුත් කරනු ඇති. මෙම කාඩ් පතේ චුම්බක පටි හෝ මතුපිටට පෙනෙන චිපයක් නැති RFID ක්‍රමයට ක්‍රියාත්මක වන කාඩ් පතකි. RFID තාක්ෂණයේදී ලැබෙන ගුවන් විදුලි තරංඟ මගින් ශක්තිය උරාගෙන නැවත කාඩ් පතේ ඇති තොරතුරු යන්ත්‍රයකට ලබා දිය හැකිය.
                       එනම් මෙහි ඇති දත්ත ලබා ගැනීමට එය අදාල උපකරණයට කිට්‍ටු කිරීම පමණක් සෑහේ.
                               මෙම උපක්‍රමය යොදා ගන්නේ ව්‍යාජ කාඩ් පත් සැකසීම මග හැරීමටයි. උෂ්ණත්වයට ඔරොත්තු දෙන ආකාරයට මෙය නිර්මාණය කර ඇත. මෙම කාඩ් පතේ මතු පිට සාමාන්‍ය පුද්ගල තොරතුරු වලට අමතරව ඇඟිලි සලකුණ ද ඇතුලත් වේ.

June 27, 2015

DARPA රොබෝ අභියෝගය දිනූ කොරියාවේ HUBO රොබෝව

DARPA රොබෝ අභියෝග තරඟාවලිය (2015 DARPA Robotics Challenge - DRC) ලොව පුරා ප්‍රසිද්ධ රොබෝ වරුන්ගේ තරඟයක්. ජයග්‍රාහකයන්ට තෑග්ග විදිහට ඩොලර් මිලියන 2 ක මුදලක හිමිවෙන මේ තරඟයට ලොව නන් දෙසින් කණ්ඩායම් ඉදිරිපත් වනවා. මේ වසරේදී මේ තරඟයට කණ්ඩායම් 24 ක් ඇතුලත් වූ අතර ඉන් අනෙක් කණ්ඩායම් 23 පරාජය කොට ජය ලබා ගැනීමට කොරියාව නියෝජනය කරමින් පැමිණ සිටි KAIST ( Korean Institute for Science and Technology) කණ්ඩායම නිපදවා තිබූ HUBO (HUmanoid roBOt) රොබෝව ජයග්‍රහණය කරනු ලැබුවා. ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව (DARPA-Defense Advanced Research Projects Agency) විසින් මෙම තරඟය සංවිධානය කරනු ලබනවා.
මෙම රොබෝ තරඟයට ඉදිරිපත් කරන් රොබෝවන් හට විවිධ අභියෝග ඉදිරිපත් කරනු ලබනවා. මෝටර් රථයක් ධාවනය කිරීම, දොරක් විවෘත කිරීම, කරාමයක් ඇරීම, පඩිපෙළක් නැගීම වැනි විවිධ වූ අභියෝග ලැබේ. මේ සියලු අභියෝග සාර්ථකව අවසන් කල රොබෝවට ජය ලැබේ.
HUBO රොබෝවේ ඇති සුවිශේෂී ලක්ෂණ මෙම තරඟය ජය ගැ එනීමට රුකුල් දී තිබේ. මානවරූපී ලෙස රොබෝව තනා තිබුණත් රොබෝවේ දනහිස හා පතුල් වල රෝද සවි කොට තිබිණි. එම නිසා දන හිස බිම තබා කරන කටයුතු වලදී චලනය වීම ඉතා පහසු විය.
                                            තවද රොබෝවේ ඉහල කොටස (ඉන ප්‍රදේශයෙන් ඉහල) අංශක 180 දක්වා පරාඅයකින් හැරවීමේ හැකියාවක්ද තිබිණි. එසේම රොබෝව ඇවිදීම සඳහා නිර්මාණ කරුවන් විසින් සකස් කර තිබූ ඇලොගොරිතමය (පරිගණක වැඩසටහන) විශේෂිත එකක් විණි. ඇතැම් රොබෝවන් මෝටර් රථයෙන් බැසීමේදී ඇද වැටිනි. නමුත් HUBO රොබෝව මේ අභියෝග සාර්ථකව ජය ලැබුවේ මේ ඇල්ගොරිතමය නිසාවෙනි. තවද ශක්තිමත් පාද හා දෑත් වලින් සමන්විත මේ රොබෝවේ එම ස්ථාන වලට සිසිලන පංකා (Cooling Fan) යොදා තිබීමද විශේෂිත ලක්ෂණයක් විය. රොබෝවට යොදාගෙන තිබූ අධි බලැති මෝටර් රත් වීම ඉන් වලකා තිබිණි.
මෙම රොබෝව තව දුරටත් දියුණු කිරීමට මෙහි නිර්මාතෘන් වන 
KAIST ආයතනයේ මහාචාර්‍ය Jun Ho Oh හා ඔහුගේ කණ්ඩායම සුදානමින් සිටී.

June 25, 2015

තාක්‍ෂණය සහ ශ්‍රී ලාංකීය ඉ-වානිජ්‍යය සඳහා එහි බලපෑම

ශ්‍රී ලංකාව තුළ ඉ-වානිජ්‍යයෙහි වර්ධනය පිළිබඳ දත්ත ස්වල්පයක් 

                      ශ්‍රී ලංකාව ඉ-වානිජ්‍යය සඳහා යොමුවී මේ වනවිට ඉහළ ප්‍රගතියකට පැමිණ තිබෙනවා. ඒ අනුව Kaymu.lk වැනි මාර්ගගත ව්‍යාපාර ඉ-වානිජ්‍යයෙහි අග්‍රගණ්‍ය දස්කම් දක්වමින් ඉදිරියෙන් සිටිනවා. එසේම දැනට වෙළඳපොළ තරගකරුවන් 20-30 පමණ සහ විවිධ වයස් කාණ්ඩ (දරුවන්, යෞවනයන්, මැදිවිය මෙන්ම වැඩිහිටියන්) මත රඳා පවතිනවා.
                                   ශ්‍රී ලංකාවේ මේ ඉ-වානිජ්‍ය වර්ධනය අන්තර්ජාල භාවිතය ඉහළ යෑමත් සමග ගොඩ නැගුණු බව පෙනෙන්නට තිබෙනවා. 2015 වසර සඳහා මධ්‍යයන්‍ය අනර්තජාල පිවිසුම් අනුපාත 22% පමණ සහ අන්තර්ජාල භාවිතා කරන්න්ගේ සංඛ්‍යාව මිලියන 4.5 ඉක්මවා තිබෙනවා.

වෙනසට හේතුව: ජංගම උපාංග සහ රැහැන් රහිත තාක්‍ෂණය ද?

                                    Apple සහ Samsung ආයතන mobile phones සහ tablets සඳහා වෙළඳපොළෙහි ඉහළින් සිටිනවා. දැනටත්, ඉදිරියටත් ශීඝ්‍රයෙන් නවමු උපාංග වෙළඳපොළට නිකුත්වන බව අපට පෙනෙන්නට තිබෙනවා. ඒ අනුව tablets සහ iPads අත්‍යාවශ්‍ය ගෘහාශ්‍රිත උපකරණ මට්ටමට ම පැමිණ තිබෙනවා. එසේ ම ව්‍යාපාරිකයන් සඳහා ද ඉහළ සහයෝගයක් ඒවායින් ලබා දෙනවා. ඉතින් මේ යෝධයන් දෙපළට ස්තූති වන්නට බොහෝ දෙනෙක් ජංගම දුරකථන සහ tablets භාවිතා කරමින් අන්තර්ජාලය හරහා වෙළඳපොළ තුළ සැරිසැරීමට සහ මිල ගණන් සංසන්දනයට යොමුවී තිබෙනවා.
අඩු මිලට smartphones මිලදීගත හැකිවීම සහ Wi-Fi හෝ දුරකථන සබඳතාව හරහා අන්තර්ජාල දත්ත භාවිතය ද අන්තර්ජාල භාවිත කරන්නන් ඉහළ යාමට බලපා තිබෙනවා. 3G සහ 4G මෙන් ම පසුගිය අවුරුද්දේ LTE ද හඳුන්වාදීම එය සනාථ කරනවා. එපමණක් ද නොව, Kaymu විසින් ශ්‍රී ලංකා ඉ-වානිජ්‍යය පිළිබඳ කළ සමීක්‍ෂණ වාර්තාවෙහි දැක්වෙන්නේ අන්තර්ජාල භාවිතය Desktop පරිගණක සහ ලැප්ටොප් හරහා වැඩි වශයෙන් ද ජංගම දුරකථන හරහා 21% ද tablet හරහා 4%ද බවයි.
 
තාක්‍ෂණය නව නිපැයුම් බිහිකරයි

                                             ස්වයං රැකියා කරන්නන් ද නව දෙයක් කිරීමේ අන්තර්ජාල කලාව හෙවත් internet of doing thingsලෙස සාමාන්‍යයෙන් හඳුන්වන තත්වය නිසා ඔවුන් නව වෙළඳ උපක්‍රම සඳහා යොමුවී තිබෙනවා. රැහැන් රහිත තාක්‍ෂණයේ වර්ධනය සමග bandwidth ඉහළ යාම මීට බලපා තිබෙනවා. ඉන් වැටහෙන්නේ රාමුවකට කොටු නොවී චින්තනය මෙහෙයවා සාමාන්‍ය ක්‍රමයෙන් ඔබ්බට ගොස් අන්තර්ජාලය හරහා තමා වෙත අවධානය යොමු කරගනිමින් ව්‍යාපාරය ගෙන යාමට ඉහතකී තත්වය ඔවුන්ව පොළඹවා ඇති බවයි.

ගෙවීම් ක්‍රමවල ඇති විවිධත්වය

                                භාණ්ඩ ලැබුණු විට ගෙවීම සහ ණයපත් (තාක්‍ෂණික දියුණුව සමග මෙය ශීඝ්‍රව වැඩුණා) සමග මාර්ගගත වෙළඳාම් ක්‍රම භාවිතය ඉහළ ගිය අතර ඒ හරහා ව්‍යාපාරවල ඒකාකාරීත්වය සිඳලමින් දෛනික ජීවිත වෙත කාවැදීම සිදුවූවා.

තාක්‍ෂණික පිබිදීමෙහි තවත් නිපැයුමක්: Mobile Apps

                                                ඉ-වානිජ්‍ය ව්‍යාපාර සඳහා තාක්‍ෂණික පිබිදීම සමග mobile apps (iOS සහ Android සඳහා) නිපැයුණු අතර එය ගැණුම්කරුවන් සඳහා විශාල පහසුවක් වුණා. ඉතින් තාක්‍ෂණය, මාර්ගගත වෙළඳාමෙහි ජීවන දහර බව Anything.lk සහ Takas.lk සජීවී උදාහරණයන් ලෙස දක්වමින් පැහැදිලි කළ හැකියි.

Article by : Nimrah Shahid 

June 23, 2015

අන්ධ අයට දිවෙන් පාර පෙන්වන උපකරණයක්

ඇස් අන්ධ අයට සාමාන්‍ය පරිදි ගමන් බිමන් යාමට නොහැකියි. ඔවුන්ගේ දෑස් නොපෙනෙන නිසා ඉදිරියේ ඇති බාධක හඳුනා ගැනිමට ඔවුන් භාවිතා කරන්නේ කෙවිටක්. දැන් විවිධ වූ තාක්ෂණික උපාංඟ මෙවැනි ආබාධිත අය වෙනුවෙන් නිපදවෙනවා. මේ එවැනි නිපැයුමක්....
මෙය හඳුන්වා ඇත්තේ බ්‍රේන් පෝට් (BrainPort V100) ලෙසයි. මේ උපකරණයේ ඇති විශේෂත්වය වන්නේ මාර්ගය පෙන්වීම හා ඊට අදාල සංවේදන ලබා දෙන්නේ අන්ධ පුද්ගලයාගේ දිවට වීමයි. ඇතැම් ආබාධිත පුද්ගලයන් අන්ධ බාවයට අමතරව බිහිරි බවින්ද පෙලෙයි. එම නිසා එවැනි අයටත් උචිත වන් ලෙස මේ උපකරණය නිපදවා ඇත.
                                                   මේ උපාංඟයේ ප්‍රධාන කොටස් වන්නේ ඇස් කණ්නාඩියට සම්බන්ධ කැමරාව, කැමරාවෙන් එන දර්ශණ සකසා සංඥා නිකුත් කරන උපාංඟය හා දිවට සම්බන්ද වන කොටසයි. මෙසේ දිවට සම්බන්ධ වන කොටස තුල ඉතා කුඩා ඉලෙක්ඩ්‍රෝඩ 144 (microelectrodes) ක් තිබේ. එම ඉලෙක්ට්‍රෝඩ මගින් දිවේ ඇති සංවේදී ස්නායු තන්තු හරහා මොළයට පණිවිඩයක් නිකුත් කරයි. එම පණිවිඩ මගින් මොළය යම් රූපයක් මවා ගනියි. එමගින් බාධක මග හරිමින් ගමන් කිරීමට පුද්ගල්යාට හැකිය.
                                          බාහිරින් දෙන සංඥාවකට වඩා ස්නායු වලටම දෙන සංඥා මොළය පහසුවෙන් හා වේගවත්ව හඳුනා ගනී. එම නිසා සාමාන්‍ය මිනිසෙකු ඇවිද යන වේගයෙන්ම අන්ධ පුද්ගලයාටද ඇවිද යා හැකිය. එපමණක් නොව යම් උපකරණයක හැඩය, ප්‍රමාණය, පරතරය, යනාදී සියල්ලම දැන ගැනීමටද හැකියාව මේ උපකරණය සතුය. ඇමරිකාවේ ආහාර හා ඖෂද අධිකාරියේ (FDA අනුමැතියද මෙම උපකරණයට ලැබී ඇත. ඉදිරියේදී IR, Sonar වැනි සංවේදක ඇතුලත් කරමින් මේ උපකරණය දියුණු කිරීමට නිෂ්පාදකයින් බලාපොරොත්තු වේ.

June 21, 2015

OLPC | පොත් වෙනුවට ලැප්ටොප්!

මතු කාලයේදී පන්තියට එන ගුරුතූමාට හෝ ගුරුතුමියට ළමයින්ට කියන්නට වෙන්නේ "ආ.. ළමයි පොත් ගන්න.." කියා නොව "ළමයි ලැප්ටොප් එක ගන්න.." කියාය. එසේ කියන්නට හේතුව මේ ලිපියේ මාතෘකාව වන OLPC ව්‍යාපෘතිය නිසාය.
මොකද්ද OLPC කියන්නේ?
                                                                OLPC කියන කෙටි යෙදුමේ දිගු අර්ථය One Laptop Per Child යන්නයි. එනම් "සෑම ළමයෙකුටම ලැප්ටොප් එකක්" යන අදහසයි. මෙම ව්‍යාපෘතියේ අරමුණ ලොව සෑම ළමයෙකුටම මිලෙන් හා ශක්ති භාවිතයෙන් අඩු රළු භාවිතයට ඔරොත්තු දෙන ලැප්ටොප් එක බැගින් ලබා දීමයි. දියුණු වන ලෝකයේ ඊට අනුරූපව සිය දැනුම වැඩි දියුණු කර ගනිමින් ලොව පුරා සිටින අනෙක් සිසුන් ද සමග සම සමව දැනුම බෙදා හදා ගනිමින් ඉගෙන ගැනීමට සැලැස්වීම මෙහි අරමුණකි. ලොව පුරා සිටින දරුවන් බොහෝ දෙනෙකුට පරිගණකයක් ලබා ගැනීමට තරම් ආර්ථික පහසුකම් නොමැත. එම නිසා ලොව දියුණු වූවාට ඒ සමගම නැගී සිටීමට තරම් මේ දරුවන් හට ශක්තියක් නැත. මේ ව්‍යාපෘතියෙන් එවැනි දරුවන්ට සහනයක් සැලසේ. මෙහි සබාපති වන්නෙ නිකලස් නිග්‍රොපොන්ටේ (Nicholas Negroponte) වන අතර මෙම ව්‍යාපෘතිය ආරම්භ වූයේ මීට අවුරුදු 10 කට කලින් එනම් 2005 ජනවාරිය.
XO ලැප්ටොප්
             OLPC මගින් දරුවන් හට ලබා දෙන ලැප්ටොප් එක හඳුන්වන්නේ XO කියාය. මෙම ලැප්ටොප් මූලික සංස්කරණ 4 ක් පැමිණ ඇති අතර දැන් තිබෙන්නේ එහි 4වන සංස්කරණය වන XO 4 යි. මුලින්ම ආවේ XO-1 යි.පැරණි සංස්කරණ වලට වඩා අළුත් XO ලැප්ටොප් එකෙහි ‍රැම් මතකය වැඩි දියුණු කර ඇත. එසේම එහි ටච් පෑඩය හා කීබෝඩයද දියුණු කර ඇත. මේ එහි දෘඩාංඟ විස්තරයයි.
  • ප්‍රමාණය : 242mm×228mm×32mm
  • බර : 1.36KG (බැටරිය සමග 1.58KG)
  • ප්‍රොසෙසරය : Marvell PXA2128 System on Chip - 1 - 1.2 GHz
  • ‍රැම් මතකය :  1 GB හෝ 2 GB DDR3 L SDRAM
  • ස්ථිර මතකය : 4 Gibytes or 8 GiBytes of eMMC NAND Flash memory
  • ග්‍රැ‍ෆික්ස් :  Integrated w/ CPU
  • තිරය : Rotatable 7.5” Dual-Mode (sunlight-readable) TFT display (200 DPI)

මීට අමතරව වෙබ් කැමරාවක් ,WiFi පහසුකම් වලින්ද සමන්විත වේ.

මෙහෙයුම් පද්ධතිය
                         XO ලැප්ටොප් එක ක්‍රියාත්මක වන්නේ ඒ සඳහාම නිපදවූ ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියකිනි. එපමණක් නොව මේ සමග දරුවාට තම හැකියාවන් දියුණු කර ඉගෙනගැනීමට ඊටම ආවෙනික මෘදුකාංඟ ගණනාවකින් සමන්විතය. දරුවා ප්‍රියකරන විෂය පථය ඔස්සේ සිය දැනුම දියුණු කර ගැනීමට  මෙහි මෘදුකාංඟ සපයා ඇත.
ක්‍රියාත්මක රටවල්...
               ලොව පුරා රටවල් 42ක මිලියන 2 කට අධික දරුවන් පිරිසක් XO ලැප්ටොප් භාවිතා කරයි. මේ අතරට ශ්‍රී ලංකාවද ඇතුලත් වේ. 2009 වර්ෂයේ දෙසැම්බර් 10 වනදා අපේ රටේ ඇරඹි මේ ව්‍යාපෘතියට ලැප්ටොප් 1,350 ඇතුලත් විය. ඒවා සිංහල හා දෙමළ භාෂාවෙන් ක්‍රියාත්මක වේ. ලෝක බැංකු ආධාර යටතේ ආරම්භ වූ මෙය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇත.

June 17, 2015

කමාන්ඩ් ප්‍රොම්ට් එකෙන් ස්ටාර් වෝස් IV බලමුද?

ස්ටාර් වෝස් කතාව බලල තියෙනවා ඇතිනේ... නැතිවුනත් කමක් නෑ... මේ හදන්නේ ඒ ‍ෆිල්ම් එක කලු සුදු පාටින් අකුරු වලින් කමාන්ඩ් ප්‍රොම්ට් එකෙන් බලන්න... කොටින්ම කිව්වොත් ASCII කේත වලින් කමාන්ඩ් ප්‍රොම්ට් එකෙන් බලන්න .කට හඬ නෑ... උපසි‍රැසි තියෙනවා. කියෙව්වට වැඩක් නෑ කරලම බලන්න. මේක ඕනිම කෙනෙක්ට කරන්න පුලුවන් ටිකක් සිම්පල් වැඩක්! 
මෙන්න කරන විදිය..>>>

1. මුලින්ම Start මෙනු එකට ගිහින් Run කියල ටයිප් කරලා Run වින්ඩෝ එක ඕපන් කරගන්න. (කී බෝඩ් එකේ Win+R එබුවත් හරි)
2. දැන් telnet towel.blinkenlights.nl කියල එක අකුරක් අඩු නැතුව ටයිප් කරල Enter කරන්න. මේකම කොපි කරල අතෑරියත් අවුලක් නෑ..!
                              ඒත් මේ වැඩේ කරන්න හදන කොට පොඩි ගැටලුවක් ඇතිවෙන්නත් පුලුවන්. ඒ තමයි පහලින් තියෙනවා වගේ දෝෂ පණිවිඩයක් එන්න පුලුවන්.වින්ඩෝස් වල තියෙන telnet එක off වී තියෙන එක තමයි මේ දෝෂයට හේතුව.
                                ඒකට පිලියම් කරන්න මුලින්ම Start මෙනු එකෙන් Control Panel එක ඕපන් කරලා ඒකෙ තියෙන Programs කියන එක ක්ලික් කරලා මතුවෙන වින්ඩෝ එකෙන් "Turn Windows features on or off" කියන එක ක්ලික් කරන්න. 
               දැන් මතුවෙන වින්ඩෝ එකේ තියෙන ලයිස්තුවෙන් Telnet Cliant කියන එක ක්ලික් කරන්න. දැන් වැඩේ හරි.... 
                              ආයෙත් Run එකේ telnet towel.blinkenlights.nl කියන එක ටයිප් කරල Enter කරන්න .
                      දැන් පොප් කෝන් එහෙම අරගෙන ඉඳගන්න... කමාන්ඩ් ප්‍රොම්ට් එකෙන් ස්ටාර් වෝස් බලන්න! හැබැයි රජෝ මේ ඔක්කොම කරන්න ඉන්ටනෙට් තියෙන්න ඕනි හොඳේ... ස්පීඩ් එක ගැටලුවක් නෑ... වැඩිය ඩේටා කැපෙන්නෙත් නෑ..

June 16, 2015

පාලමක් 3D ප්‍රින්ට් කරන්න තාක්ෂණයක්!

3D ප්‍රින්ටර් තාක්ෂණය භාවිතයෙන් විවිධාකාර වූ විස්කම් නිර්මාණ දැන් ලෝකයේ බිහිවෙමින් පවතිනවා. 3D ප්‍රින්ටරයක් ආධාරයෙන් ශරීර අවයව මුද්‍රණය කිරීමට හැකි තාක්ෂණයක් ගැන මීට පෙර ලිපියක් පල කලා මතක ඇති. ඒ වගේම විශ්මිත වැඩක් ගැනයි මේ ලිපියත්. 3D ප්‍රින්ටරයකින් පාලමක් සෑදිය හැකියි කියා කිව්වොත්... 
මේ අලුත් ක්‍රමය හොයාගෙන තියෙන්නෙ MX3D කියන 3D මුද්‍රණ තාක්ෂණය පිලිබඳ පරීක්ෂණ සිදුකරන සමාගමක් විසිනුයි. MX3D විසින් මෙම කටයුත්ත සඳහා ත්‍රිමාන නිර්මාණ ආශ්‍රිත මෘදුකාංඟ නිපදවන ලොව ප්‍රකට සමාගමක් වන Autodesk හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු සමාගමක් වන Heijmans යන සමාගම් වල උදවු ලබාගෙන තිබෙනවා. මේ තාක්ෂණය හුදෙක් පාලම් ඉදිකිරීමට පමණක් නොව ගොඩනැගිලි මං මාවත් ස්ව්‍යංක්‍රීයව ඉදිකිරීමට මෙම තාක්ෂණය නිසැකවම යොදා ගැනීමට හැකිවනු ඇත. එනම් මුලු ඉදිකිරීම් ක්ෂේත්‍රයම 3D රොබෝවන් අතට පත්වන බවට කරන ඉඟියකි. එපමණක් නොව හදිසි බිඳ වැ‍ටුම් අවස්ථාවල (භූමි කම්පා නිසා, දුම්රිය පීලි පැනීම්) මිනිසුන්ට ඇතුලු විය නොහැකි ගිනි ගැනීම් වැනි ආපදා වලදී සිදුකල යුතු හදිසි ඉදිකිරීම් මේ 3D රොබෝවන්ට පැවරිය හැකිය.
මෙම 3D ඉදිකිරීම් තාක්ෂණයට යොදාගෙන ඇත්තේ "ආවරණයෙන් ඉවත මුද්‍රණය" (‘printing outside the box’) නම් ක්‍රමයයි. එනම් මෙම මුද්‍රණය සිදු කරන්නේ ආවරණයක් ඇතුලත නොව සාමාන්‍ය බාහිර පරිසරය තුල සිටය. එසේම මෙමගින් ඉදි කරන ඉදිකිරීම් වල විශ්වාසනීය බව, ආරක්ෂාව, කල්පැවැත්ම අනිවාර්‍යයෙන්ම ඉහළ විය යුතුයි. ඒ සඳහා විශේෂිත වූ තාක්ෂණික ක්‍රමවේද යොදා ගනිමින් මෙය තවදුරටත් දියුණු කිරීමට MX3D සමාගම කටයුතු කරමින් තිබේ. 3D රොබෝවන් පාලම ඉදිකිරීමේදී ඒවා පෑස්සීමට පෙර එයට යොදා ගන්නා අමුද්‍රව්‍යන් සෙල්සියස් අංශක 1,500 පමණ රත් කරණු ලබයි. ශක්තිමත්, දැඩි බවක් හා හොඳ දරා ගැනීමේ හැකියාවක් ලබා දීම එහි අරමුණයි.
මෙම වසරේ සැප්තැම්බරයේ දී මෙම නිර්මාණයේ අත්දැකීමක් ලබා දීමට MX3D සමාගම අපේක්ෂාවෙන් සිටී. ඔවුන් ඒ සඳහා නිෂ්චිත ස්ථානයක් සඳහන් කර නොමැති අතර බොහෝ විට ඒය ඇම්ස්ට්‍රඩෑම් නගරයේදී සිදු කරනු ඇතැයි විශ්වාස කෙරේ.

June 13, 2015

ඉලෙක්ට්‍රික් කාර්

අද වන විට බොහෝදෙනෙක් කතා කරන මාතෘකාවක් ගැන තමයි මේ ලිපිය  ලියන්නේ. ඉලෙක්ට්‍රික් කාර් ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ඛනිජ තෙල් වෙනුවට විදුලිය යොදා ගෙන ගමන් කර හැකි එන්ජිම ලෙස විදුලි මෝටර් මගින් ක්‍රියා කරන මෝටර් රථ ඉලෙක්ට්‍රික් කාර් නැත්නම් විද්‍යුත් මෝටර් රථ ලෙස සරලව හඳුන්වන්න පුලුවන්. ඛනිජ තෙල් අද වන විට සීග්‍රයෙන් අහිමිවී යන සම්පතකි. එමෙන්ම ඉලෙක්ට්‍රික් කාර් භාවිතයෙදී පරිසරයට හානියක් නොමැති තරම්ය. අනවශ්‍ය ශබ්ද, රත්වීම් නොමැති නිසා ද, විවිධ පරිසර වාර්ථා (දුම් පරීක්ෂණ වැනි) අනවශ්‍ය නිසාද බොහෝදෙනෙක් දැන් ඉලෙක්ට්‍රික් කාර් කෙරෙහි යොමුව තිබේ. ඉලෙක්ට්‍රික් කාර් , විදුලියෙන් දුවන වාහන (EV - "electric vehicle") යටතට ගැනේ. සැබැවින්ම ඉලෙක්ට්‍රික් කාර් ඉතා පරිසර හිතකාමීය.

ඉතිහාසය

විදුලියෙන් දුවන කාර් තවම අපට අලුත් වුවද එහි ඉතිහාසය 1880 තරම් ඈතට විහිදෙයි.එංගලන්ත ජාතික ‍තෝමස් පාකර් විසින් මුල්ම විදුලි මෝටර් රථය නිපදවා ඇත. ඔහු පරිසර දූෂණයකින් තොර මෝටර් රථ නිර්මාණයට පරීක්ෂණ සිදු කල අයෙකි. 1900 පමණ වන විට ඇමරිකාව තුල වාහන අතුරින් 34% විදුලියෙන් දුවන ඒවා විය, 40% වාෂ්ප බලයෙන්ද, 22% ගැසොලින් භාවිතයෙන් ද ධාවනය විය. කෙසේ වෙතත් අභ්‍යන්තර දහන ඇංජිම නිපදවීමත් සමග විදුලි වාහන නිෂ්පාදනය නැවතිනි.
මුල් කාලයේ දී විදුලියෙන් දුවන වාහන නිපදවීමට ගැටලු කිහිපයක් බල පෑවේය. ප්‍රධානම ගැටලුව වූයේ මෝටරයයි. අභ්‍යන්තර දහන එංජිම මෙන් නොව විදුලි මෝටර් තුල ශක්තිය ගබඩා කල නොහැකි විය. එම නිසා එක විටම වැඩි වේගයක් (pick up) ලබා ගැනීමට නොහැකි විය. එසේම මෝටරයට අවශ්‍ය තරම් විදුලිය ගබඩා කල හැකි බැටරි නොමැති වීමද බලපෑ ප්‍රධාන ගැටලුවකි. 
                                         මේ කාරණා දෙකම සම්පූර්ණ වුවද තව ගැටලුවක්ද පවතී. ඒ නම් බැටරි වේගවත්ව ආරෝපණය කිරීමයි.සාමාන්‍යයෙන් ඛනිජ ඉන්ධන වලින් ධාවනය වන වාහන නම් ඉන්ධන අවසන් වූ පසු පිරවුම් හලකින් නැවත පුරවා ධාවනය කල හැකිය. නමුත් ඉලෙක්ට්‍රික් කාර් වල එසේ කිරීමට නොහැකිය. එක් වරක් ධාවනය කර නැවත ධාවනය කිරීමට නම් නැවත එහි බැටරි ආරෝපණය කල යුතුය. එයට තරමක වෙලාවක් ගතවේ. දැනට තිබෙන ඉලෙක්ට්‍රික් කාරයක් එක් වරක් ධාවනය කර බැටරිය නැවත ආරෝපණයට 220V - 230V යටතේ පැය 6-8 අතර කාලයක් තැබිය යුතුය.
                     එසෙ වුවද මේ වෙනුවෙන් දැන් නව ක්‍රම අත්හදා බලමින් තිබේ. රථය ගමන් කිරීමෙදී තිරිංඟ යෙදීමේදී යෙදවෙන ශක්තියෙන් නැවත ආරොපණය කිරීම, ගමන් කරන මාර්ගයෙන්ම ශක්තිය උරා ගැනීම වැනි පුනර්ජනණීය ක්‍රම මගින් නැවත විදුලිය නිපදවා ගැනීමේ ක්‍රම අත්හදා බලා ඇත.

ඉලෙක්ට්‍රික් මෝටර් රථ නිපදවන සමාගම්..

2004 දී ආරම්භ කල ටෙස්ලා (Tesla Motors) සමාගම අද ලෝකයේ තිබෙන ප්‍රධානතම ඉලෙක්ට්‍රික් කාර් නිපදවන සමාගමකි. "Tesla Rodster" නම් මෝටර් රථය ඔවුන්ගේ ප්‍රථම නිපැයුමයි. 2008 සිට 2012 වන් විට එවැනි රථ 2,250 ලොව පුරා රටවල් 31 ක අලෙවි කිරීමට ඔවුන් සමත්විය. දැන් ජනප්‍රියම රථය වී ඇත්තේ Tesla Model S නම් රථයයි. 
                ඉලෙක්ට්‍රික් කාර් නිපදවන්නන් අතරට අපේ රටේ නමත් දැන් එක්වෙලා තියෙනවා. Code Gen මෘදුකාංඟ සමාගමේ හර්ෂ සුභසිංහ මහතාගේ මූලිකත්වයෙන් දේශීය ඉංජිනේරුවන්ගේ සහයෙන් ඉදිවන මේ මෝටර් රථයේ නම වේගා(VEGA) ය. ඒ පිළිබඳ ලියැවුනු ලිපියක් මීට පෙර පළ කර ඇත. එහි මේ මෝටර් රථය ගැන වැඩි විස්තර ඇතුලත් වේ.
                           මීට අමතරව ලොව ප්‍රකට මෝටර් රථ නිපදවන්නන් ද ඉලෙක්ට්‍රික් කාර් නිපදවීම ආරම්භ කර ඇත. ජපානයේ මිට්ෂුබිෂී සමාගමේ  Mitsubishi i MiEV, වොල්වෝ සමාගමේ Volvo C30, BMW ActiveE, BMW i3,Honda Fit EV, Toyota REV4 EV හා Nisan Leaf වැනි බොහෝ සමාගම් ඉලෙක්ට්‍රික් කාර් නිපදවා ඇත. මින් නිසාන් සමාගමේ  Nisan Leaf රථය ලොව පුරා ජනප්‍රිය රථයකි. එය අපේ රටේ ද ජනප්‍රිය රථයකි.

පෙට්‍රල් ෂෙඩ් වෙනුවට චාර්ජින් ස්ටේෂන්

ඉලෙක්ට්‍රික් කාර් නැවත ආරෝපණයට ඉන්ධන පිරවුම්හල් වෙනුවට චාජින් ස්ටේෂන් තිබේ. ඉන්ධන පිරවුම්හල් වලට වඩා මෙහි ඇති වෙනස මොටර් රථ නවතා තිබීමට පහසුකම් තිබීමයි. ඇමරිකාව තුල මෙවැනි මධ්‍යස්ථාන 20,000 පමණ තිබේ. ජපානයේ මේ වන විට ඉන්ධන පිරවුම්හල් වලට වඩා ඉලෙක්ට්‍රික් කාර් ආරෝපණය කරන චාර්ජින් ස්ටේෂන් තිබේ. මේවා බොහොමයක් ප්‍රධාන විදුලියෙන් ක්‍රියාත්මක වන් අතර සූර්‍ය ශක්තියෙන් (සූර්‍ය පැනල) මඟින් ක්‍රියාත්මක වන් ඒවාද ඇත.

ගණන් කොහොමද?

මුල් කාලයේදී ඉලෙක්ට්‍රික් කාර් මිල අධික වුවද ලොව පුරා අලෙවි වීමත් සමග ඒවා සාමාන්‍ය මෝටර් රථ වල මිලටම මිලට ගැනීමේ හැකියාව තිබේ. බොහෝ රටවල රජයන් ද මෙම මෝටර් රථ වලට බදු සහන ලබා දී ඇත.සාමාන්‍ය ඛනිජ තෙල් සඳහා අධික පිරිවැයක් දරන්න සිදු වුවද මෙම රථ වලට යන වියදම අවම බැවින් මෙම සහන දී ජනතාව එය කරා යොමු කිරීමට උත්සහ කරයි.
ඛනිජ තෙල් සම්පත මේ වන විට සීග්‍රයෙන් හීන වී යයි. එසේම එමගින් සිදුවන් පරිසර හානියද සුලුප‍ටු නැත. ඒ අනුව බලන කල දැන් තිබෙන හොඳම විසඳුම ඉලෙක්ට්‍රික් කාරයයි. මේවායේ තාක්ෂණය තවතත් දියුණු වන අතර , මතු කාලයේදී වඩා වේගයෙන් යා හැකි, හොඳ බලයක් සහිත ඉක්මනින් ආරෝපණය කල හැකි මෝටර් රථ බිහිවනු ඇත..

June 9, 2015

23 MP කැමරාවකින් 120 MP ෆොටෝ ගන්න පුලුවන් ෆෝන් එකක්

චීනයේ ජංගම දුරකතන නිෂ්පාදන සමාගමක් වන Gionee සමාගම විසින් විශ්මිත තාක්ෂණයකින් යුත් කැමරාවක් සහිත දුරකතනයක් හදුන්වා දීමට නියමිතයි.  Gionee E8 ලෙස හඳුන්වා ඇති මෙම දුරකතන්යේ කැමරාව මෙගාපික්සල් 23 වන නමුත් මෙගාපික්සල්120 තරම් අධි විභේදනයක් සහිත පින්තූරයක් මෙහි යොදාගන්නා තාක්ෂණික ක්‍රමයක් භාවිතයෙන් ලබාගැනීමට හැකිය. එය හරියට නොකියා දුරකතන වල භාවිත වන Nokia's Pureview තාක්ෂණයට සමානය.
මෙය තරමක් විශ්වාස කල නොහැකි දෙයක් ලෙස පෙනුනද Gionee සමාගම සිය ෆේස්බුක් පි‍ටුවේ E8 දුරකතනයෙන් ලබා ගත් ඡායාරූපයක් ප්‍රසිද්ධ කොට ඇත. එසේම මෙහි ඇති තවත් විශේෂත්වයන් වන්නේ ඉතා වේගවත් නාභි ගත කිරීමේ හැකියාව (High Speed Focus Speed) හා වේගවත් පින්තූර ගැනීමේ (Shutter speed) හැකියාවයි (හරියට Sony cybershot වගේ) . තොරතුරු වලට අනුව මෙම වේගය ඔවුන් පෙර ඉදිරිපත් කල Elife S7 වේගයටත් වඩා E8 වලදී වැඩි කර ඇත.
මෙම තොරතුරු මුලින්ම පිටවී ඇත්තේ චීන TENAA නියාමන මණ්ඩලයෙනි. ඒ තොරතුරුවලට අනුව 23MP තරම් වූ E8 සතු කැමරාව මගින් ගන්නා ඡායාරූප විශේෂ තාක්ෂනික ක්‍රමයක් යොදා ගෙන 100MP තරමට පරිවර්ථනය කරන බවයි. එම තාක්ෂණය ප්‍රසිද්ධ නැති නමුත් Nokia's Pureview හිදී යොදා ගන්නා තාක්ෂණයටම සමාන තාක්ෂණික උපක්‍රමයක් මෙහිදී භාවිත වන බව විශ්වාස කෙරේ.
මෙම දුරකථනය තවමත් වෙළඳ පොලට එවා නොමැති අතර එහි ඇති හැකියාවන් පිලිබඳ GSM Arena වෙබ් අඩවිය නිකුත් කල තොරතුරු වලට අනුව මෙයට පික්සල් 2,560 x 1,440 ,අඟල් 6  AMOLED තිරයක් ,3GB RAM මතකයක්,ඇඟිලි සලකුණු කියවනයක්,1.9GHz octa-core MediaTek ප්‍රොසෙසරයක් හා 8MP ඉදිරිපස කැමරාවකින් සමන්විත වේ යැයි අනුමාන කෙරේ. Gionee දුරකථන චීනය, ඉන්දියාව, හා තවත් රටවල් සිය ජංගම දුරකථන අලෙවි කරනු ලබයි.

එකතුවෙන්න...

 
         
 

tech එකේ ඉන්න අය

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ලිපි එකතුව

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

tech සයුර Copyright © 2014 - All rights reserved.