April 27, 2016

ස්කයිප් කතාව...

දුර බැහැර රටක ඉන්න කෙනෙක් සමග කතා කරන්න දුරකථන ඇමතුමක් ගන්නවට වඩා අද කොයි කා අතරත් ජනප්‍රිය වීඩියෝ කෝල් ගැනීමයි. දුරකතන ඇමතුමකට වඩා අඩු වියදමකින් මුහුණ බලාගෙනම කතා කිරීමට හැකි වීම මෙයට හේතුවයි. වීඩියෝ කෝල් කිව්ව ගමන් සිහියට එන්නේ 'ස්කයිප්' (Skype) ය. මේ ස්කයිප් හැදුන හැටියි...

               වසර 2000 දී පමණ ස්වීඩනයේ තිබූ ටෙලි ටූ (Tele 2) සමාගමේ අයිතිකරු ට වෙබ් පෝටල් සේවයක් නැත්නම් ඉන්ටනෙට් හරහා භාණ්ඩ විකිණිය හැකි සේවයක් ඇරඹීමට අවශ්‍ය විණි. මේ කටයුත්තට සේවකයින් බඳවා ගත්තේ එස්තෝනියාවෙනි. සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ එස්තෝනියාව එය බිඳ වැටීමෙන් පසු නිදහස් රාජ්‍යක් විය. එහෙත් තිබුණු සෝවියට් අධ්‍යාපනය යටතේ සියලු දෙනාට හොඳ තාක්ෂණික අධ්‍යාපනයක් තිබුණ ද, ‍රැකියා සොයා ගැනීම අපහසු විය. මේ නිසා අඩු වැ‍ටුපකට හොඳ සේවකයින් එස්තෝනියාවෙන් සොයා ගැනීමට ටෙලි ටූ සමාගම කටයුතු කලේය.

මිතුරන් එක්වීම

                           ටෙලි ටූ මගින් පළ කල දැන්වීම දු‍ටු මිතුරන් තිදෙනෙකි. ජාන් තාලින්, ප්‍රිට් කසෙසලු හා ආටි හෙයින්ලා මේ තුන් කට්‍ටුවයි. 1989 දී එස්තෝනියාවෙන් ආ කොස්මොනෙට්(Kosmonaut) පරිගණක ක්‍රීඩාව මොවුන්ගේ නිපැයුමකි. 
                      එයින් ලැබුණු ආදායමෙන් බ්ලූමූන්(Bluemoon) නම් සමාගමක් පිහි‍ටුව නමුත් පවත්වාගෙන යාමට නොහැකිව බංකොලොත් වී මොවුන් තිදෙනා අන්ත අසරණ වී සිටියෙය. ඒ අතර දු‍ටු මේ දැන්වීමට ඔවුන් ඉක්මන් ප්‍රතිචාර දැක්වූයේ එකල එස්තෝනියාවේ මාසික වැ‍ටුප වූ ඩොලර් 330 දවසක ගෙවීමක් ලෙස ටෙලි ටූ සමාගම විසින් දෙන බව සඳහන්ව තිබූ නිසයි. 
                     මේ අයට සේවයේ ඕනෑ එපා කම් කීවේ ටෙලි ටූ සමාගමේ ස්වීඩන් ජාතික නිකලස් සෙන්ට්‍රෝම් හා ඩෙන්මාර්ක් ජානුස් ‍ෆ්‍රීස් ය. ඔවුන් ද හොඳ මිතුරන් දෙදෙනෙකි. ටොයිවෝ අනස් නම් තවත් එස්තෝනියානුවෙක් සම්බන්ධ කරගනිමින් PHP ක්‍රමලේඛ භාෂාව යොදා ගනිමින් බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි වේගයක් සහිතව නිර්මාණය කර Everyday.com නමින් දියත් කලහ. නමුත් වෙළඳ ප්‍රශ්ණ නිසා මෙම සේවය නවතා දමන්නට ටෙලි ටූ සමාගමට සිදු විණි. ඊට සම්බන්ධ වූ තරුණයින්ට නැවත ‍රැකියා අහිමි විය.

අලුත් පියවර

                            මෙසේ මිතුරන් වෙන්ව යද්දී නිකලස් හට පැමිණි අදහසකට අනුව ඇම්ස්ට්‍රඩෑම් නුවරට විත් ජානුස් ෆ්‍රිස් සමග එක්වී අලුත් මෘදුකාංඟයක් ගොඩ නැගීම ඇරඹිණි. එය අතරමැද සර්වරයක් නොමැතිව පරිගණක 2ක් අතර ගොනු හුවමාරු කල හැකි ෆයිල් ෂෙයාරින් වැඩසටහනකි. එය P2P නැති නම් පියර් ‍ටු පියර් (peer to peer) වැඩසටහනකි. එස්තෝනියානු මිතුරන් සිව්දෙනාද මේ වැඩේට හවුල්කොට ගෙන වසර 2000 දී එස්තෝනියාවේ සිට දියත් කල මෙම වැඩසටහන කාසා (Kaaza) ය. නිකුත් කල වෙලාවේ පටන් මෙය ඉතා වේගයෙන් ලෝ පුරා වේගයෙන් ජනප්‍රිය විය.
                         අවාසනාවකට මෙන් මේ වැඩෙ ට ද ලොකු අර්බුදයක් ඇති විය. ඒ බුද්ධිමය දේපල උල්ලංඟනය කරමින් මෘදුකාංඟ, ගීත, චිත්‍රපට කාසා හරහා හුවමාරු වීමයි. ඇමරිකාව, යුරෝපය කාසා සමාගමට එරෙහිව නඩු පැවරූ අතර එයින් මිතුරන් සය දෙනාම චූදිතයින් විය. අත්අඩංඟුවට ගැනීමෙන් බෙරීමට ඕස්ට්‍රේලියාවේ මිතුරෙකු මාර්ගයෙන් කාසා සමාගම වනු‍ටු දූපතේ පිහි‍ටුවීය.

වැ‍ටුන තැනින් නැගිටීම

                     මේ කරදරයෙන් ගොඩ ඒමට ක්‍රමයක් කල්පනා කරමින් සිටින විට මොවුන් ට නව අදහසක් ඇතිවිය. ඒ වයි-ෆයි දුරකතන අතර නොමිලේ දුරකථන ඇමතුම් ගත හැකි වැඩසටහනක් නිපැයීමයි. කාසා වැඩසටහන අතහැර දැමූ මොවුන් ජානුස් හා නිකලස් විසින් සැකසූ P2P වැඩසටහන යොදාගෙන මේ නව වැඩසටහන නිර්මාණය කලේය. ස්කයි පියර් ‍ටු පියර් (Sky peer to peer) මෙය නම් කලේය. පසු කලෙක ස්කයිප් ලෙස බිඳී ආවේ මේ නමයි. වසර 2003 අගෝස්තු 23 දා ස්කයිප් සේවය ලොවට දායාද විය. දියත් කල මොහොතේ සිට ස්කයිප් ලොව පුරා ජනප්‍රිය විය. ස්කයිප් වැඩසටහන ෆයර් වෝල් වැඩසටහන වලින් රිංඟා යාමට දක්ෂ වූ නිසා හුවමාරු කල දත්ත කිසිවක් කොතැනක හෝ නො‍රැඳිනි. ඒ නිසා එය බාවිත කරන අයගේ පෞද්ගලිකත්වය ආරක්ෂා විය.

අන්සතු වීම

                    මේ සමගම මේ හා සමගාමී වැඩසටහන් ලෝ පුරා ඇරඹිණි. ගූගල්, මයික්‍රෝසොෆ්ට් මෙන්ම ඒඕඑල් (AOL) යන සමාගම් ද මෙවැනි වැඩසටහන් ලොවට ඉදිරිපත් කලේය. ස්කයිප් ඒ සියල්ල පරයා නැගී සිටියේය. නමුත් ස්කයිප් තුලින් එහි නිපැයුම් කරුවන් සිතූ තරම් ආදායමක් නොලැබිණි. ඒ නිස 2005 දී ඩොලර් කෝටි 260 කට eBay සමාගමට ස්කයිප් විකුණා දැමීය. නමුත් ebay සමාගමට ද ස්කයිප් හරි ගියේ නැත. ඒ නිසා වැඩිකොටසක් නිකලස්ට හා ජානුස් හට නැවත විකිණීය. මෙසේ නොයෙක් හැලහැප්පීම් මත ක්‍රියාත්මක වූ ස්කයිප් වසර 2011 දී ඩොලර් කෝටි 850 කට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තනි අයිතියට පත් කොට එහි නිර්මාණ කරුවන් එයින් ඉවත් විණි. දැන් එය දියුණු කරමින් සිටින්නේ මයික්‍රෝසොෆ්ට් සමාගමයි....

April 22, 2016

ට්‍රාන්ස්ෆෝමර් බල සැපයුම් පරිපථය

ට්‍රාන්ස්ෆෝමර් කිව්ව ගමන් ඔලුවට එන්නෙ ‍ෆිල්ම් එක. නැත්නම් අර විදුලි බල මණ්ඩලයට අයිති තඩි ට්‍රාන්ස්ෆෝමර්! මේ කියන්නෙ ඒ දෙකම ගැන නෙවෙයි. ප්‍රධාන විදුලියෙන් වැඩකරන පොඩි රේඩියෝ වල, පරණ ටීවී වල මේ උපාංඟය සුලබව දකින්න තියෙනවා. මේ කියල දෙන්න හදන්නෙ කුඩා ට්‍රාන්ස්ෆෝමරයක් නැත්නම් පරිණාමකයක් ප්‍රායෝගිකව යොදාගන්න හැටි ගැනයි.
මේ වැඩේට ගන්නෙ ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් නැත්නම් අවකර පරිණාමකයක්. 230V AC (ප්‍රත්‍යාවර්ථ) ප්‍රධාන විදුලිය 12V DC (සරල) විදුලියක් බවට පරිවර්ථනය කරන්න මේ පරිපථයෙන් පුලුවන්. 

මේ පරිපථයෙ මූලික කොටස් 3ක් තිබේ.

1. 230V විදුලිය 12V  පරිවර්ථන කොටස

                   මේ කොටසේදි තමයි ට්‍රාන්ස්ෆෝමරය භාවිතා වෙන්නෙ. මේ පරිපථයෙ දී යොදාගෙන තිබෙන්නෙ 12V ට්‍රාන්ස්ෆෝමරයක් උනත් අවශ්‍ය වෝල්ටියතාව අනුව කැමති ට්‍රාන්ස්ෆෝමරයක් යොදා ගන්න පුලුවන් (5V, 10V...). සාමාන්‍යයෙන් ට්‍රාන්ස්ෆෝමරයක අග්‍ර(වයර්) 4 ක් තියෙනවා. 
                       ප්‍රධාන විදුලියට සම්බන්ද කරන අග්‍ර 2 එක වර්ණයකින් යුක්ත වෙනවා. බොහෝ විට මේ වයර රතු පැහැතියි. අනෙක් වයර 2 වර්ණ 2කින් හෝ තනි වර්ණයකින් යුක්තයි.
                  අග්‍ර අඳුන ගන්න අපහසු නම් ට්‍රාන්ස්ෆෝමරය ගන්න තැනින්ම දැනගන්න පුලුවන්. කොයිම වෙලාවකවත් මේ අග්‍ර මාරු නොවෙන්න වග බලාගන්න ඕනි. එහෙම නොවුණොත් මේ ක්‍රියාව අනෙක් පැත්තට (වැඩි->අඩු වෙනුවට අඩු->වැඩි) සිදුවී අනතුරු වීමටත් හැකියි. 
             සමහර ට්‍රාන්ස්ෆෝමර් තියෙනවා අවුට්පුට් වයර් 3ක් තියෙන. ඒවගෙ තියෙන වයර් 3න් දෙකක් එකම පාටින් තියෙනවා. පරිපථයට සම්බන්ධ කරනකොට මේ එකම පාට වයර් දෙක විතරක් පාවිච්චි කරන්න පුලුවන්. වයර් 3 ම ගන්න විදිහ පහලින් කියන්නම්.

2. AC -> DC  පරිවර්ථන / තරංඟ ඍජුකරණ කොටස
                 ට්‍රාන්ස්ෆෝමරයක් වැඩකරන්නෙ AC (ප්‍රත්‍යාවර්ථ ධාරා- Alternative Current) විදුලියකින්. ඒ වගේම ට්‍රාන්ස්ෆෝමරයකින් විදුලිය අවුට් වෙන්නෙත් AC විදිහට. ඒත් විදුලි උපකරණ වැඩ කරන්නෙ DC (සරල ධාරා -Direct Current) එකකින්. ඒ නිසා මේ AC විදුලිය DC විදියට පරිවර්ථනය කරන්න ඕනි. මේ කොටසින් කරන්නෙ ඒක. මේ කොටසට ඩයෝඩ 4ක් යොදා ගන්නවා.

                           වයර් 3ක් තියෙන ට්‍රාන්ස්ෆෝමරයකට නම් ඩයෝඩ 2ක් තිබුණාම ඇති. මුලින් කිව්ව අවුට් වයර් 3න් වෙනස් පාට වයර් එක වැඩ කරන්නෙ භුගත නැත්නම් ඍණ (-) අග්‍රය විදිහට. තවත් වැදගත් දෙයක් තියෙනවා. මේ ඩයෝඩ් ගන්න කොට ට්‍රාන්ස්ෆෝමරයේ පිට කරන ධාරාවට (ඇම්පියර් ගානට) ගැලපෙන ඩයෝඩ් ගන්න ඕනි. මේ සර්කිට් එකේ තියෙන 1N4004 නැත්නම් 1N4007 ඔරොත්තු දෙන්නෙ 1A ධාරාවකර ට්‍රාන්ස්ෆෝමරයක් ගන්නවනම් වැඩි ධාරාවකට ඔරොත්තු දෙන ඩයෝඩ් ගන්න ඕනි.

3. සුමටනය කරන කොටස
ඩයෝඩ වලින් සරල ධාරාවක් බවට පත්වුනත් ඒ විදුලිය කෙලින්ම උපකරණයකට දෙන්න බෑ. ඒකට හේතුව මේ විදුලිය නියතව ගලා ඒමක් සිදු වෙන්නෙ නැතුව විචලනයකින් එන එක. ඒ හින්දා මේ විදුලිය ධාරිත්‍රකයක්(capacitor) හරහා ලබා ගත යුතුයි.  
                      කැපෑසිටරය ‍තෝරා ගන්නකොට ට්‍රාන්ස්ෆෝමරයෙන් පිටවෙන විදුලියට වඩා වැඩි අගයකින් යුතු එකක් ‍තෝරාගන්න ඕනි. (උදා:- ට්‍රාන්ස්ෆෝමරය 12V නම් 16V කැපෑසිටරයක් යොදා ගතයුතුයි.)
පොඩි මෝටර් වලට , LED වලට බැටරි වෙනුවට මේ පරිපථයෙන් විදුලිය ලබාගන්න පුලුවන්. ඩයොඩ් 4 , කැපෑසිටරය ඩොට්බෝඩ් කෑල්ලක හරි ෆෝර් මිකා කෑල්ලක් සිදුරු කරල හරි හදා ගන්න. මේ සර්කිට් එක මෙච්චර විස්තර කලේ සර්කිට් එක විතරක් දැම්මනම් ගොඩක් අය හදන්න අමාරුයි කියල හිතන හන්දා. දැනගන්න දෙයක් තියෙනවනම් අහන්න. ඉලෙක්ට්‍රොනික් අමාරු නෑ හොඳේ!


April 14, 2016

UEFI කියන්නෙ මොකද්ද?

 මුලින්ම හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!  ලුත් ලැප්ටොප් වලට ඩෙස්ක්ටොප් වලට වින්ඩෝස් හරි ලිනක්ස් හරි 64 බිට් වලින් ඉන්ස්ටෝල් කරනකොට සමහර අය දැකල ඇති UEFI Firmware කියල යෙදුමක්. ඇත්තටම මොකද්ද මේ UEFI කියන්නේ?
                                                      UEFI කියන එකේ දිගු අර්ථය තමයි Unified Extensible Firmware Interface කියන්නෙ. UEFI කියන්නෙ BIOS වල අලුත් මුහුණුවරක්.
BIOS කියන්නෙ?
                             පරිගණකය ක්‍රියාත්මකවන වෙලාවට මුලින්ම යොමුවෙන්නෙ BIOS (Basic Input Output System) වැඩසටහන වෙතටයි. මේ වැඩසටහන මගින් කෙරෙන්නෙ පරිගණකය ක්‍රියාත්මක වෙන්න කලින්, ඒකට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා තිබේද යන්න පරික්ෂා කිරීමත් ඒවා සපුරා ඇත්නම් යොදා ඇති අනුපිලිවෙළ අනුව පරිගණකයේ මෙහෙයුම් පද්ධතියෙන් පරිගණකය ක්‍රියාත්මක කිරීමයි. 
                                 මේ වැඩසටහන මවුපුවරුවේ CMOS (Complementary metal–oxide–semiconductor) කියන විශේෂ චිපයක් තුල ඇතුලත් කර තිබේ. පරිගණකයේ දිනය, වේලාව ක්‍රියාත්මක වෙන්නෙත් මේ චිප් එකේ පිහිටෙන්. මවුපුවරුව හොඳින් බැලුවොත් පොඩි ඔරලෝසු බැටරියක් (Button Cell) එකක් දැකගන්න පුලුවන්. 

                       ඒකෙන් තමයි පරිගණකයට විදුලිය නැති වේලාවට දිනය වෙලාව ක්‍රියාත්මක කරන්නෙ. (මේ බැටරිය බැසයාම පරිගණකයෙ දිනය වෙලාව නිතර වෙනස් වෙන්න ප්‍රධාන හේතුවක්).
UEFI
ඇත්තටම UEFI, BIOS වල අලුත් ඔප්ෂන් එකක් කියල කියන්නත් පුලුවන්.මේ අලුත් ක්‍රමයේ තියෙන විශේෂ ආරක්ෂක උපක්‍රමයක් තියෙනවා. මාස්ටර් බූට් රෙකෝඩ් (Master Boot Record) එක වෙනුවට බූට් මැනේජ්මන්ට් සිස්ටම් (Boot Management System) එකක් යොදා ගන්න එක ඒ උපක්‍රමයයි . පරිගණක වෛරස වර් ගයක් වෙන බූට් සෙක්ටර් වෛරස (Boot Sector Virus) වල ප්‍රධාන ඉලක්කය වෙන්නෙ මේ මාස්ටර් බූට් රෙකෝඩ් එක. බූට් මැනේජ්මන්ට් සිස්ටම්  එකේදී ඒ අවථාව මගහැරෙනවා.
ඒ වගේම සාමාන්‍ය නිල් පැහැති බයෝස් තිරය වෙනුවට GUI (Graphical User Interface) නැත්නම් චිත්‍රක අතුරුමුහුණතකින් යුක්තවෙනවා. ඒ වගේම අලුත් මාදිලියේ පරිගණක වල පරිගණකයේ තියෙන දෘඩාංඟ වලට සමීප වෙන්න මවුපුවරුවට ලැබෙන මෘදුකාංඟ වලට හැකියාවක් ලැබෙනවා. වින්ඩෝස් ලෝඩ් වෙනකොට වැටෙන වින්ඩෝස් ලාංඡනය වෙනුවට පරිගණකයේ ලෝගෝ එක වැටෙන්නෙ ගොඩක් වෙලාවට UEFI වලින් ක්‍රියාත්මක වෙන පරිගණක වල.
MBR ඩිස්ක් වල නම් බැහැ ගොයියෝ!
සාමාන්‍යයෙන් අලුත් පැරණි ගොඩක් පරිගණක වල ක්‍රියාත්මක වෙන්නෙ MBR නැත්නම් මාස්ටර් බූට් රෙකෝඩ් ක්‍රමයට සකසපු හාඩ් ඩිසක් (මිලට ගන්නා විට DOS පමණක ඇති හෝ වින්ඩෝස් හෝ ලිනක්ස් බිට් 32 මෙහෙයුම් පද්ධති ඉන්ස්ටෝල් කර ඇති). ඒත් UEFI ක්‍රමයේදී MBR ඩිස්ක් තුල ගබඩා කරන්න හැකියාවක් නැහැ.
                           ඒ වෙනුවට හාඩ් ඩිස්කයේ GPT(Guid Partition Table) ක්‍රමය භාවිතා කල යුතුය. සාමාන්‍යයෙන් මේ ආකාරයට පරිවර්ථනය කරන්න නම් හාඩ් ඩිස්ක් එක ෆෝමැට් කරන්න වෙනවා. එහෙම නැතුව තියෙන දත්ත එලෙසම තියාගෙන පරිවර් ථනය කරන්න විශේෂ සොෆ්ට්වෙයා එකක් යොදා ගන්න පුලුවන්. AOMEI Partition Assistant කියන්නෙ ඒකත හොඳ සොෆ්ට්වෙයා එකක්. 
                                 උදව් ඕනෙ කෙනෙක් ඉන්නව නම් කියන්න. මේ පෝස්ට් එකෙන් කලේ මූලික් හැඳින්වීමක් විතරයි. මේ වැඩේ කරන්න ඉස්සර මුලින්ම තමන්ගෙ ලැප් එක ඩෙස්ක්ටොප් එක UEFI වලට සපෝට් කරනවද කියලා හොයල බලන්න.

April 6, 2016

බ්ලොගයේ ලිපි බැකප් කරන්නෙ මෙහෙමයි [බ්ලොගර් Tips]

බ්ලොගර් වල දාන පෝස්ට්, පේජ් වගේම කොමෙන්ට් ටික තියෙන්නෙ අපේ කොම්පියුටරයෙ නෙවෙයි. ඒ හින්දා මොකක් හරි අලකලංචියක් වෙලා බ්ලොග් එකෙ පෝස්ට් ටික නැති වුනොත් මොකද කරන්නෙ? ඉතිං ඒ හින්දා මේ කියල දෙන්නෙ අවදානමට පෙර සූදානම් වෙන හැටි කියල දෙන්න.
*මේ වැඩේට බ්ලොගර් වල පහසුකමක් තියෙනවා.මුලින්ම කන්ට්‍රෝල් ඇනල් එකට (බැක් එන්ඩ් එක) ගිහින් වම් පැත්තෙ තියෙන මෙනු එකෙන් Settings කියන එක ක්ලික් කරන්න.
*දැන් ඒතනින් පහලට මතුවෙන මෙනුවෙන් Other කියන එක ක්ලික් කරන්න.
*එතකොට දකුණු පැත්තෙ මතුවෙන සැකසුම් හදන්න තියෙන පි‍ටුවෙ ඉහලම තැන Import & back up කියල තියෙනවා.
*එතන තියෙන Content (pages, posts & comments) එකට ඉදිරියෙන් Import Content , Back up Content කියල බට්න් 2ක් තියෙනවා. ඒ 2න් Back up Content  කියන බට්න් එක ක්ලික් කරන්න.
*දැන් xml කියන එක්ස්ටෙන්ෂන් එක (******.xml) තියෙන ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න එයි. මේ ෆයිල් එක පරිසම් කරල තියාගන්න ඕනි. මේක තමයි බැකප් ෆයිල් එක.

බැකප් කරපු තොරතුරු නැවත පිහිටවන හැටි

                                                              හදිස්සියේ මොකක් හරි වෙලා නැත්නම් අලුත් බ්ලොග් එකකට මාරු වෙන කොට හරි ඉස්සර වෙලා බැකප් කරගත්තු බැකප් ෆයිල් එක ප්‍රයෝජනයට ගන්න පුලුවන්. ඒකට කරන්න තියෙන්නෙ මුලින් කරපු විදියටම Settingss-> Other -> Import & back up කියන එකට ගිහින් Import Content ක්ලික් කරලා බැකප් ෆයිල් එක සිලෙක්ට් කරලා ඕපන් කරගන්න. 
Automatically publish all imported posts and pages කියන චෙක් බොක්ස් එක සිලෙක්ට් කරල තිබුණොත් ඉම්පොර් ට් කරපු පෝස්ට් ස්ව්‍යංක්‍රීයවම පබ්ලිශ් වෙනවා.


ප.ලි:
වර්ඩ් ප්‍රෙස් සයිට් එකක් බැකප් කරන හැටි
                        වර්ඩ් ප්‍රෙස් කියන්නෙ බ්ලොගර් වලට වඩා ටිකක් සංකීර්ණ සේවයක් . මේකෙ දත්ත තැන්පත් වෙන්නෙ mySQL ඩේටා බේස් එකක. ඒ හින්ද සාමාන්‍ය විදියට අඩවිය බැකප් කරන එක ටිකක් සංකීර්ණ වැඩක්. ඒ නිසා ඒ වෙනුවෙන් නිර්මාය කෙරුන වර්ඩ් ප්‍රෙස් ප්ලගින් එකක් ඉන්ස්ටෝල් කරල මේ වැඩෙ ලේසියෙන්ම කරගන්න පුලුවන්.
මේකට තියෙන හොඳම ප්ලගින් එකක් තමයි Updraft Plus කියන්නෙ. මෙතනින් ගිහින් ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ඊටපස්සෙ වර්ඩ් ප්‍රෙස් සයිට් එකට ගිහින් ඩෑෂ් බෝඩ් එකේ පහලින් තියෙන Plugins කියන එක ක්ලික් කරන්න. 
                       එතකොට දකුණු පැත්තෙන් මතුවෙන පි‍ටුවෙ උඩින් තියෙන Upload Plugin එක ක්ලික් කරල ඩවුන්ලෝඩ් කරපු ප්ලගින් එක ඉන්ස්ටොල් කරන්න පුලුවන්. (ඕනි නම් එතනින්ම සර් ච් කරලා ඉන්ස්ටෝල් කර් න්නත් පුලුවන්) 

                   ඒක ඉන්ස්ටෝල් උනාට පස්සෙ ඒකට යටින් තියෙන Activate Plugin ක්ලික් කරන්න.
දැං මේ ප්ලගින් එකෙන් සයිට් එක බැකප් කරන්න, රී ස්ටෝ කරන්න පුලුවන්. ඩ්‍රොප් බොක්ස් එකට, ගූගල් ඩ්‍රයිව් වගේම තමංගෙ පරිගණයටම උනත් සයිට් එක බැකප් කරන්න පුලුවන්.

April 3, 2016

ලංකාවට සම්බන්ධ වූ අධිවේගී SEA-ME-WE 5 කේබලය

                      කෙනෙකු හට අන්තර් ජාල සබඳතාව ලබාගැනීමට නම් අන්තර්ජාල සේවා සපයන්නකු (ISP - Internet Service Provider) හා සම්බන්ද වී එය ලබාගත යුතුය. එහිදී සේවා සපයන්නා ප්‍රධාන අන්තර්ජාල සේවය හා බැඳී සිටී. මෙසේ රටකට  අන්තර් ජාල සේවා ලබා ගැනීමට විවිධ ක්‍රම පවතී. භූ ස්ථාවර චන්ද්‍රිකා මෙන්ම මුහුද යටින් දිවෙන ප්‍රකාශ තන්තු (Fiber Optic) කේබල් මගින්ද මෙසේ ඍජු සේවා ලබා ගැනීමට හැකිය. එහෙත් චන්ද්‍රිකා වලට වඩා ෆයිබර් කේබලයේ දත්ත ගමන් ගැනීම වේගවත්ය.
                     SEA-ME-WE යනු අග්නිදිග ආසියාව, මැද පෙරදිග හා බටහිර යුරෝපය (South East Asia–Middle East–Western Europe) හා සම්බන්ද වන අන්තර් ජාල කේබලයකි. මෙවැනි කේබල් POP-TO-POP (Point of Presence)  කේබල් ලෙස හැඳින්වෙනවා.මේ කේබලය පවතින ප්‍රථම හෝ එකම කේබලය නොවේ. මෙසේ විවිධ රටවල් එක්කර තැනූ කේබල SEA-ME-WE 1, 2,3,4 වශයෙන් පවතී මුල්ම SEA-ME-WE  කේබලය පිහිටවූයේ 1985 දී වන අතර එහි වේගය 12Mhz වේ. කිලෝමීටර් 13,500 දිගැති මෙය තඹ කම්බි යොදා ගනිමින් ප්‍රතිසම(Analog) ආකාරයට දත්ත සම්ප්‍රේෂණය කරනු ලැබුවා. මෙම නව කේබලය කිලෝමීටර් 20,000 ක දිගින් යුතුවන අතර තත්පරයට ටෙරාබිට් 24 වේගයෙන් (24 Tbps) දත්ත හුවමාරු කල හැකිය.  එනම් අධි-විභේදන (high-definition) චිත්‍ර පට 4800 ක් එකවර හුවමාරු කිරීමට තරම් හැකියාවක් මෙයින් ලැබෙනවා .ටෙරාබිට් එකක් යනු ගිගාබිට් 1024 කි (ගිගාබයිට් නොවේ. තත්පරයට බිට් යනු දත්ත ගමන් කරන වේගය මනින මිණුමකි) . මෙම කේබලය තුල ෆයිබර් තංතු 3 කින් සමන්විත වේ. . 

      ලංකාව හා සම්බන්ධ වන මේ කේබලය SEA-ME-WE 5 වේ. මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන්නේ 2014 වන අතර මේ වසරේ නොවැම්බරයේ නිමවීමට නියමිතව ඇත .මෙම කේබල් ජාලය "The Happy Submarine Cable System" ලෙස හඳුන්වා ඇති අතර, ඒ SMW 5 ජාලයේ උප සභාපතිව කටයුතු කල චීන ජාතික Happy Zhang සිහිවීමටය. ඇය මෙම ව්‍යාපෘතියට සම්බන්ධව සිටින අවධියේ මලයාසියානු MH-370 ගුවන් අනතුරින් අවාසනාවන්ත ලෙස  මෙලොවෙන් සමුගත් අතර ඇගේ සේවය ඇගයීමක් ලෙස මෙසේ නම් කර ඇත.



සිංගප්පූරුව, මලයාසියාව, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 19 ක් මෙම ජාලයට අයත්වන අතර විවිධ දුරකථන සමාගම් මෙම සේවාව ලබා ගැනීමට සූදානමින් සිටින අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම අප රට නියෝජනය කරයි. මීට දින කීපයකට පෙර මෙම කේබලය ලංකාවේ මාතර ප්‍රදේශයෙන් සම්බන්ධ කරනු ලැබුවා.
මෙම කේබලය සාමාන්‍ය කේබලයක් නොවන අතර ෆයිබර් කේබලය වටකොට තැනූ විශේෂිත ආවරණ කීපයකට මැදිව මෙම කේබලය පවතී. මෙය හරහා දත්ත ගමන් කරන විට ඒ වටා ඇතිවන විද්‍යුත් චුම්බක තරංඟ මෝරුන් විසින් සතුරු ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන ඒවාට හානි කිරීමක් සිදුවේ.  
                     එම නිසා එවැනි ප්‍රහාර මෙන්ම භූ කම්පන ආදියටද ඔරොත්තු දෙන ආකාරයට මෙය නිර්මාණය කර ඇත. කෙසේ වෙතත් කල් යත්ම මේවා දුර්වල වී හානිවූ අවස්ථාද තිබේ. එවිට එයට සම්බන්ධ රටවල අන්තර්ජාල වේගය පහලවැටේ. 
                      මෙම කේබල එළීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන අතර ඒ සඳහා පලපුරුදු ඉංජිනේරුවන්, නෞකා මෙනම සේවකයන් මේ වෙනුවෙන්ම සිටී.මේ අලුත් සබඳතාව නිසා ලංකාවේ බොහෝ ක්ෂේත්‍රයන් හී තොරතුරු තාක්ෂණික කටයුතු වේගවත් වනු ඇතයි බලාපොරොත්තු වනවා.

වැඩිදුර තොරතුරු:-www.seamewe5.com

එකතුවෙන්න...

 
         
 

tech එකේ ඉන්න අය

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

tech සයුර Copyright © 2014 - All rights reserved.