November 27, 2018

පෙති නැති ගුවන් යානා

                                    ගුවන් යානයක් කිව්වම ඉස්සරහින් හරි , තටු දෙකේ හරි එන්ජින් දෙකකට සම්බන්ද වුණු අවරපෙති දෙකක් එක්ක ලොකු ශබ්ධයක් ඇති කරගෙන අහසට එසවෙන විදිහෙ  හිතේ මැවෙන එක රූපයක් තියෙනවා. දැනට අවුරුදු 100 කට කලින් ගුවන් යානය හොයාගත්තු කාලෙ ඉඳලාම ගුවන් යානය මේ විදිහට ඉන්ධන වලින් හරි, බැටරි වලින් හරි ක්‍රියාත්මක වෙන අවරපෙති වලින් නැත්නම් ෆෑන් වලින් ගන්න සුළඟේ පීඩන බලයෙන් තමයි ගුවන් යානය ගමන් කලේ.
                                          ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ (MIT - Massachusetts Institute of Technology) ඉංජිනේරු කණ්ඩායමක් ගුවන් යානයේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න සමත් වෙලා තියෙනවා. ඔවුන් සැලසුම් කරපු ගුවන් යානයේ එන්ජිමක් හරි වෙනින් කිසිම සෙලවෙන කොටසක් ඇතුලත් වෙන්නෙ නෑ. ඒ වෙනුවට ගුවන් යානයට අවශ්‍ය බලය ලබාගන්නේ අයනික වාතය (ionic wind) මගිනුයි. ඒ නිසා සම්පූර්ණයෙන්ම නිශ්ෂබ්ධයි. ඒ වගේම ඇන්ජින් වගේ සංකීර්ණ උපාංග නැති නිසා ගොඩක් සරල වගේම ඉතා සැහැල්ලුයි.
                                            MIT හි ගගන විදයාව ගැන මහාචාර්‍යය කෙනෙක් වෙන ස්ටීවන් බැරට් කියන විදිහට ඔහුට මේ අදහස ඇවිත් තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධයක් වුණු Star Trek කතා මාලාවේ තිබූ යානා මගිනුයි. බැරට් මේ ගැන පරීක්ශණ කරන්න පටන් ගෙන තිබුණේ මීට අවුරුදු 9 කට විතර කලින් ඉඳලයි. කිසිම චලනය වන කොටසක් නැතිව ගුවන් යානයකට අවශ්‍ය ප්‍රචාලන ශක්තිය ලබාදෙන ක්‍රමයක් ගැන සොයමින් සිටියා. ඒ වෙලාවෙදි 1920 දී සොයාගත්ත භෞතික විද්‍යා මූලධර්මයක් වෙන ionic wind නැත්නම් electroaerodynamic thrust (ගතික විද්යුත් තෙරපුම?) මේ පරීක්ෂණයට යොදාගන්න පටන්ගත්තේ. සරල විදිහට කිවුවොත් සිහින් දිගැති එකක් අනෙකට වඩා කුඩා ඉලෙක්ට්‍රෝඩ දෙකකට අවශ්‍ය විදුලිය සැපයුවාට පස්සෙ ඉලෙක්ට්‍රෝඩ දෙක හරහා ගමන් ගන්නා වාතය උපයෝගී කරගෙන ගුවන් යානයට අවශ්‍ය තෙරපුම් බලය ලබා ගන්න පුළුවන්.
                        වසර ගණනාවක් මේ තාක්ෂණය උපයෝගී කර ගත්තේ කුඩා විනෝදාත්මක උපකරණ සෑදීමටයි. නමුත් මගීන් ගෙන යන තරමේ විශාල ගුවන් යානා ගමන් කරවීමට තරම් බලයක් ලබා ගැනීමට හැකියාවක් තිබුණේ නෑ. ඉතිං මේ තාක්ෂණය ඒ වගේ හැකියාවක් තියෙන තත්වයට ගේන්න ලොකු මහන්සියක් වෙන්න බැරට් ඇතුලු කණ්ඩායමට සිදුවුණා. ඒ වගේම මේ වෙනුවෙන්  කිලෝවොට් සිය දහස් ගණනක බලයක් උවමනා වෙනවා. ඒ නිසා ඒ බලය ලබාගන්න බැටරි හෝ සූර්‍ය කෝෂ පද්ධති යොදා ගන්න වෙනවා.
                                මේ ගැන කරපු පරීක්ෂණ උපයෝගී කරගෙන රාත්තල් 5 ක් පමණ බර මීටර් 5 ක් පමණ දිග තටු යුගලක් තියෙන ග්ලයිඩරයක් හදලා තියෙනවා. මේ ග්ලයිඩරයේ ඉදිරිපස තටු අතර සිහින් කම්බි පෙලක් තියෙනවා. ඒක වැඩ කරන්නෙ ධන ඉලෙක්ට්‍රෝඩය විදිහටයි. ඍණ අග්‍රය විදිහට වැඩ කරන්න පිටුපස තටුවේ තරමක් ඝණකම ඉලෙක්ට්‍රෝඩයක් තියෙනවා. බලය ලබා ගන්න ඕනි වෙන ලිතියම්-පොලිමර් බැටරි අසුරලා තියෙන්නෙ ගුවන් යානයේ රාමුවේ. මේ ගුවන් යානයේ ක්‍රියාකාරිත්වයට අධි වෝල්ටීයතාවක් ඕනි වෙන නිසා බැටරි වල බලය අධි වෝල්ටීයතාවකට පරිවර්තනය කරන්න අවශ්‍ය සැහැල්ලු උපාංගය සෑදුවේ ඉලෙක්ට්‍රොනික පරීක්ෂණ විද්‍යාගාරයේ මහාචාර්‍ය ඩේවිඩ් පෙරොල්ට්ස් විසිනුයි. ඒ පරිවර්තකයෙන් බැටරියේ බලය වෝල්ට් 40,000 ක ආරෝපණයක් ඇතිකරන්න හැකියාව තියෙනවා.
                                 වයර් වලට බලය ලබා දුන්නාට පස්සේ වාතයේ තියෙන ඍණ ආරෝපිත වා අණු වේගයෙන් තල්ලු කර දැමීමේ හැකියාව ලැබෙනවා. ඉදිරිපසින් අයනීකරණය වුණු වා අණු පසුපස තියෙන ඉලෙක්ට්‍රෝඩයෙන් ඇදගනු ලබනවා. මේ ආකාරයෙන් වේගයෙන් ගමන්කරන වා අණු නිසා ගුවන් යානයට ඉදිරියට යන්න බලය ලැබෙනවා. පරීක්ෂණය කරපු ග්ලයිඩරයට මීටර් 60 ක දුරක් (පරික්ෂණය කරපු ගොඩනැගිල්ලේ උපරිම දුර) ඉතා පහසුවෙන් ගමන්කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ විදිහට කරපු පරික්ෂණ වාර 10 ම සාර්ථක වෙලා තියෙනවා. 
                                        මේ පරික්ෂණ යොදාගෙන විශාල ගුවන් යානා නිෂ්පාදනය කරනවා නම් ඒවාට විශාල ඉලෙක්ට්‍රෝඩ වගේම බලසැපයුම් පද්ධති සැකසිය යුතු වෙනවා. ඒ වගේම භෞතික විද්‍යා මූලධර්ම ගැන, ආරක්ෂාව ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි වෙනවා.මේ නිසා ප්‍රායෝගික විදිහට විශාල ප්‍රමාණයේ ගුවන් යානයක් එළිදැකීමට තව බොහෝ කාලයක් ගතවේවි.

November 20, 2018

හෙළකුරේ පරිගණක ආගමනය

                                  ස්මාර්ට්ෆෝන් එකක් තියෙන කෙනෙක් නම් හෙළකුරු ගැන නොදන්නවා නම් ලොකු පුදුමයක්. ඇන්ඩ්‍රොයිඩ්  වලදි හරි ඇපල් වලදි හරි සිංහලෙන් ටයිප් කරන්න උදව් වෙන ඇප් එක තමයි හෙළකුරු කියන්නෙ. හෙළකුරු ස්මාර්ට් ෆෝන් එකට තිබුණත් පරිගණකයට සම්පූර්ණයෙන් නිම කරපු සංස්කරණයක් ලබාදීලා තිබුණෙ නෑ. ඒත් මීට දින කීපයකට කලින් පරිගණකයටත් හෙළකුරු ලැබුණා!
 
                                 හෙළකුරු පරිගණකයට දෙන්න භාෂා ආයතනය පටන් ගත්තේ අවුරුද්දකට විතර කලින් ඉදන්මයි. ක්‍රෝම් වෙබ් බ්‍රවුසරයට එන එක්ස්ටෙන්ෂන් එකක් විදිහට තමයි මුලින්ම හෙළකුරු ආවේ. ඒ වෙබ් අඩවි වලදී සිංහල භාවිතය පහසු වෙන්න.
                                පරිගණකයේදී සිංහල ඕනි නම් විජේසේකර යතුරුපුවරුව ස්ථාපනය කරගන්න ඕනි. ඒත් ඒකට අලුත් කෙනෙක් නම් ටයිප් කරන්න ටිකක් අමාරු වෙනවා. ඒත් හෙළකුරු වලින් ඒ ක්‍රමයට අමතරව සිංග්‍රීසි ක්‍රමයටත් ටයිප් කරන්න පුළුවන් නිසා ඒ අපහසුව නැති වෙනවා. හෙළකුරු වින්ඩෝස්, මැක් වගේම ලිනක්ස් වලටත් ගන්න පුළුවන්. https://www.helakuru.lk ට ගියාම මේ සොෆ්ට්වෙයා එක ලබා ගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරන්න ගියාම PERSONAL USE / COMMERCIAL USE කියලා සංස්කරණ දෙකක් තියෙනවා COMMERCIAL USE ඒ කියන්නෙ වාණිජ වශයෙන් තියෙන එක රුපියල් 1990.00 වෙනවා. PERSONAL USE එක නම් නොමිළයේම ලබා ගන්න පුලුවන්. ඒත් කැමති කෙනෙක් ඉන්නවා නම් රුපියල් 990.00 ක් දීලා ගන්නත් පුලුවන්. ඒකෙන් මේ මෘදුකාංගය තව තවත් දියුණු කරන්නට ශක්තියක් වේවි.
                                 තවම අලුත් නිසා සුලු සුලු අඩුපාඩු වගේම දෝෂ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම සමහර මෙහෙයුම් පද්ධති වල වැඩ නොකරන්නත් ඉඩ තියෙනවා. ඒ දෝෂ ඉදිරි සංස්කරණ වලදී නිවැරදි කර පැමිණේවි. මේ වගේ වටිනා මෘදුකාංග නිර්මාණය කිරීම විතරක් නෙවෙයි ඒවා නොමිළයේම ලබා දෙන භාෂා ආයතනයටත් එහි ප්‍රධානියා වෙන ධනික පෙරේරා ටත් ස්තූතිවන්ත විය යුතුයි.

November 9, 2018

අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් - 4

                   අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් කරන හැටි ගැන මීට කලින් පෝස්ට් කීපයක් tech සයුරෙන් කියලා දුන්නා. මේ කියන්න යන්නෙත් ඒ ප්‍රොජෙක්ට් එකට උදව්වක් වෙන අඩුවට හොයා ගන්න පුළුවන් සෝලා චාජර් එකක් ගැනයි.
                    මේ චාජර් එක ගෙන්නුවේ Ali express එකෙන්. මේකේ ප්‍රමාණය 120*65.5*1.5mm විතර ඇති. ඒ කියන්නෙ ප්‍රමාණයෙන් කුඩා ඉඩක තියන්න හරි ඇණ තවු වලින් බිත්තියක හයි කරලා තියාගන්න හරි පුළුවන්. 12V/24V Auto Switch නිසා බැටරිය 12V උනත් 24V උනත් කිසිම ගැටලුවක් නැතුව චාජරය වැඩ කරනවා.
                මේ චාජර් එක ඩිජිටල් එකක්. ඒ නිසා බැටරිය චාජ් කරන්න PWM (Pulse Width Modulation - ස්පන්දයක පළල සැකැස්ම) විදිහට. ඒ නිසා බැටරිය Over Charge වෙන්නෙ නෑ. බැටරියේ ආරක්ෂාවට Short Circuit Protection, Over Load Protection තියෙනවා. 5V USB Power Outlet 2 න් මොබයිල් ෆෝන් චාර්ජ් කරගන්න පුළුවන්.
             බැටරිය චාර්ජ් වෙන එක, චාර්ජ් වෙලා තියෙන ප්‍රමාණය බලන්න, චාර්ජ් වෙන්න ඕනි වෝල්ට් ප්‍රමාණය, Overload වෙනකොට Disconnect වෙන්න ඕනි වෝල්ට් ප්‍රමාණය ට අදාල සැකසුම් අපිටම හදාගන්න පුළුවන්.
           චාර්ජර් එක හයි කරන විදිහ ගැන එවන පෙට්ටියෙම තියෙනවා. සරලව ඒක කරන්නෙ මෙහෙමයි. මුලින්ම චාර්ජර් එක බැටරියට කනෙක්ට් කරලා දෙවෙනියට පැනල් එක කනෙක්ට් කරන්න ඕනි. අන්තිමට තමයි output එකෙන් උපකරණ සම්බන්ධ කරන්නෙ.

            දැනට මාස දෙකක් විතර ටෙස්ට් එකකට පස්සෙ මේ පෝස්ට් එක දාන්න හිතුනේ මේ ඩිවයිස් එක හොඳට වැඩ කරනවද කියලා බලන්න ඕනි නිසයි. ලංකාවෙ මුදලින් රු.1,140 ක් විතර වෙනවා. ගානෙ හැටියට නම් සෑහෙන්න වටිනවා. බැටරියේ ප්‍රමාණය අනුව 10A,20A,30A ධාරාවන් වලින් ගන්න පුළුවන්. මේ වගේ සොලා චාජර් එකක් හොයපු කෙනෙක් ඉන්නවන්ම් මෙතනින් ගිහින් ගන්න පුළුවන්.

අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් - 1
අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් - 2
අඩු වියදම් සෝලා ප්‍රොජෙක්ට් එකක් - 3

එකතුවෙන්න...

 
         
 

tech එකේ ඉන්න අය

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

tech සයුර Copyright © 2014 - All rights reserved.