පරිගණකය වේගවත් කරන Solid State Drive (SSD)

    අලුතින් ලැප්ටොප් එකක්, ඩෙස්ක්ටොප් එකක් ගන්න කෙනෙක් නම් SSD ගැන අනිවාර්‍යෙන්ම අහලා ඇති. පරණ වේගයෙන් අඩු පරිගනකයක් උනත් වේගවත් කරගන්න තියෙන හොඳම උපාංඟයක් තමයි SSD එකක් කියන්නෙ.ඇත්තටම SSD කියන්නෙ storage උපංඟයක්. SSD එකකින් පරිගණකයේ වේගය වැඩිවෙන්නෙ කොහොමද? සාමාන්‍ය hard disk එකකින් SSD එකක් වෙනස් වෙන්නෙ කොහොමද කියලා මේ පෝස්ට් එකෙන් බලමු.

    මේ පෝස්ට් එකේ අන්තර්ගතයෙන් solid state drive ගැන මෙන්න මේ කියන දේවල් ගැන කතා කරනවා.

👉 SSD එකක් කියන්නෙ මොකද්ද? Hard Disk එකකින් වෙනස් වෙන්නෙ කොහොමද?

  Solid state drive නැත්නම් කෙටියෙන් SSD එකක් කියන්නෙ කලින් කිව්වා වගේම non-volatile storage device එකක්. මේක ඇත්තටම නිර්මාණය කරලා තියෙන්නෙ සාමාන්‍ය භාවිතයේ තියෙන hard disk වෙනුවට ඒකට ආදේශකයක් ලෙසයි. ඒත් Hard disk එකකට වඩා SSD එකක් ඉතා වේගවත්. Hard disk එකක දත්ත තැන්පත් කරනන්නේ චුම්බක තැටි මත දත්ත තැන්පත් කරන යාන්ත්‍රික ක්‍රියාවලියක් නිසා ඒවායේ ඇති දත්ත වලට ප්‍රවේශ වීමට වැඩි කාලයක් අවශ්‍ය වේ. නමුත් SSD වල මෙම චුම්බක තැටි වෙනුවට flash memory chip භාවිතා කරනු ලබයි. එම නිසා මේවායේ වේගය සාම්ප්‍රදායික hard disk වලට වඩා ඉතා වැඩිය. මේ නිසා operating system එකක් boot වීමට ගතවන කාලය හා වැඩසටහනක් ආරම්භ වීමට යන කාලය SSD වලදී ඉතා අඩුය ය.

www.avast.com

👉 SSD වල තාක්ෂණය

        SSD හි ඇත්තේ සිලිකන් වලින් නිෂ්පාදිත flash memory chips එකතුවකි. නිෂ්පාදකයා විසින් නිෂ්පාදනය කරන එක් එක් SSD මොඩලයෙ ධාරිතාව අනුව එහි ඇති චිප් stack එක වෙනස් කරනු ලබයි. මෙම චිප් වල අඩංඟු වන්නේ floating gate transistors (FGTs) නම් විද්‍යුත් ආරෝපණ මගින් දත්ත රඳවා තබා ගන්නා ට්‍රාන්සිස්ටර් වර්ගයකි. එහි ඇති විශේෂත්වය නම් විදුලිය විසන්ධි කර ඇති අවස්ථාවේදී ද දත්ත රඳවා තබා ගැනීමයි. මෙම සෑම FGT එකක්ම ආරෝපණ ඇති 1 හෝ නැති 0 ලෙස 1bit අගයක් ගනී (Each FGT contains a single bit of data).


  • Single-level cell (SLCs) :- එකවර එක බිටුවක මතකය පමණක් රඳවා ගැනීමට හැකිය. මිලෙන් තරමක් අධික නමුත් වඩා වේගවත් හා හොඳ කල් පැවැත්මක් ඇත.
  • Multi-level cells (MLCs) :- එකවර බිටු දෙකක මතකයක් රඳවා ගැනීමට හැකියාව ඇති අතර SLCs වලට වැයවන ඉඩෙහි, ඊට වඩා දෙගුණයක දත්ත රැඳවිය හැකිය. නමුත් මෙහි වේගය SLCs වලට වඩා අඩුය.
  • Triple-level cells (TLCs) :- එකවර බිටු තුනක් රඳවා ගැනීමේ හැකියාව ඇති අතර මිලෙන් ඉතා අවමද වේ. නමුත් වේගය හා කල් පැවැත්ම SLCs හා MLCs වලට වඩා අඩුය. මිලෙන් අඩු වඩා වැඩි ඉඩක් සහිත SSD නිෂ්පාදනයට මෙම වර්ගය භාවිතා වේ.

👉 SSD වල ප්‍රධාන ලක්ෂණ

    SSD වල චලනය වන කොටස් නොමැති නිසා, HDD වල ඇති විය හැකි යාන්ත්‍රික දෝෂ SSD වල ඇති නොවේ. SSD ද නිහඬ වන අතර අඩු බලයක් පරිභෝජනය කරයි. තවද SSD දෘඪ තැටි වලට වඩා බරින් අඩු බැවින්, ඒවා ලැප්ටොප් සහ ජංගම පරිගණක උපාංග සඳහා හොඳින් ගැලපේ. ඊට අමතරව, SSD controll software වල analytics වැඩසටහන් ඇතුළත් වන අතර එමඟින් SSD හි ඇතිවිය හැකි දෝෂ ගැන පරිශීලකයෙකුට කල්තියා දැනුම් දිය හැකිය.

👉 SSD එකකින් ලැබෙන වාසි
  • වේගවත්ව දත්ත read/write කිරීමේ හැකියාව.
  • Operating system එක වේගවත්ව boot වීම හා වැඩසටහන් ඉක්මනින් ක්‍රියාත්මක කල හැකි වීම.
  • ගැස්සීම්, සෙලවීම් වලට HDD වලට වඩා ඉතා හොඳින් ඔරොත්තු දීම.
  • ඉතා අඩු ශක්ති පරිභෝජනය.
  • HDD වල මෙන් සෙලවෙන කොටස් නොමැති නිසා ක්‍රියාත්මක වන විට ශබ්ධයක් නොමැති වීම.
  • ප්‍රමාණයෙන් කුඩා වීම. 

👉 SSD වල අවාසි
  • HDD වලට වඩා මිලෙන් අධික වීම.
  • ඇතැම් වර්ගයේ (උදා: NAND memory-flash chips භාවිතා වන SSD) SSD වල ආයු කාලය තරමක් අඩු වීම.
  • මිලෙන් වැඩි වීම නිසා තරමක් අඩු ප්‍රමාණයේ ධාරිතා වලින් ලබා ගැනීමට තිබීම.

    NAND හා NOR වර්ගයේ logic gates වර්ග ඇති චිප් SSD වල ප්‍රධාන ලෙස භාවිතා කරනු ලබයි. මෙයින් NOR වර්ගයේ චිප් සහිත SSD ජංගම දුරකතන වල බහුලව යොදාගනී. NAND  වලට වඩා NOR වර්ගය වේගවත්ව read කිරීමෙ හැකියාවක් ඇති නමුත් මිලෙන් NAND වලට වඩා වැඩිය. නමුත් NOR වර්ගයේ ඒවායෙ writing speed එක තරමක් මන්දගාමීවේ. මේ නිසා ස්මාර්ට් ෆෝන් වලදී NOR වර්ගයේ memory operating system boot කිරීමටත්, NAND වර්ගයේ ඒවා දත්ත තැන්පත් කිරීමටත් (Photo, Video etc..) යොදාගනී.


👉 විවිධාකාරයේ Solid State Drive වර්ග

  1. Solid-state drives :- ප්‍රධාන ආකාරයේ SSD වරගයක් වන මෙය පරිගණකයේ SATA (Serial Advanced Technology Attachment) හෝ SAS (serial-attached SCSI) තාක්ෂණයන් භාවිතා කර සම්බන්ධ වේ. මිලෙන් තරමක් ලාබදායි SSD වර්ගයකි.
  2. PCI Express-based flash :- based flash පෙර හැඳින් වූ එකට වඩා වේගවත් SSD එකකි. තප්පරයකට සිදුකරනු ලබන I/O operation ප්‍රමාණයද පෙරට වඩා වැඩි අගයකින් ඇති වර්ගයකි. මෙහි ඇති හොඳම වාසිය වන්නේ latancy අඩුවීමයි. Built in data protection දුර්වල වීම හා custom drivers අවශ්‍ය වීම මෙහි ඇති අවාසියි.
  3. Flash DIMMs :- PCI Express වලට වඩා වේගවත් වන මේවාද ක්‍රියාත්මක වීමට custom drivers අවශ්‍ය වන අතර motherboard වල ඇති I/O system වල වෙනස් කම් සිදු කිරීමට අවශ්‍ය වේ.
  4.  NVMe SSDs :- Non-Volatile Memory express යන තාක්ෂණය භාවිතා වන මෙම SSD වල client system  හා SSD අතර PCIe bus හරහා දත්ත ගමන් කරන වේගය වේගවත් කරනු ලබයි. 
  5. NVMe-oF :- NVMe over Fabrics නම් ප්‍රොටොකෝලය යොදා ගෙන දත්ත සන්නිවේදනය කිරීම මෙම SSD වලදී සිදු කරනු ලබයි. දත්ත සන්නිවේදන මාධ්‍ය ලෙස Ethernet, Fibre Channel හෝ InfiniBand භාවිතා වේ.
  6. Hybrid DRAM-flash storage :- මෙම වර්ගය තුල ෆ්ලෑෂ් මතකය හා RAM යන කොටස් දෙකම භාවිතා කරනු ලබයි. RAM මොඩියුලයේ ඇති සීමාවන් ඉක්මවා යමින් වැඩි දත්ත සම්ප්‍ර්‍රේෂණ වේගයක් ලබා දීමට මේවාට හැකියාවක් තිබේ.

👉 SSD එකක් ගන්නකොට බලන්න ඕනි දේවල්

    ලොව පුරා විවිධ දෘඩාංඟ නිෂ්පාදකයින් දැනට SSD නිෂ්පාදනය කරන අතර එවන් ප්‍රසිද්ධ නිෂ්පාදකයින් කිහිපදෙනෙක් පහත දක්වා ඇත.
    මෙම නිෂ්පාදකයින් NAND මගින් නිෂ්පාදිත SSD මෙන්ම ඔවුන් තමන්ගේම ෆ්ලෑෂ් චිප් මත පදනම්ව නිෂ්පාදිත SSD අලෙවි කරයි. SSD  එකක් මිලදී ගැනීමේදී පහත සාදක ගැන සලකා බැලීම අවශ්‍ය වේ.
  • කල්පැවැත්ම : - සෑම SSD එකක්ම එයට සිදුකල හැකි read/write ගණන පිලිබඳ විස්තරයක් ලබා දේ. බොහෝ විට read වලට වඩා write operation වලින් SSD වල ආයුකාලය තීරණය වේ. SSD එකක් මිලට ගැනීමේදී මේ ගැන සැලකිලිමත් වීමෙන් එහි ආයුකාලය වැඩි කර ගත හැකිය. ඇතැම් ලාබදායි SSD වල මෙම අගය ඉතා අඩු විය හැකිය.
  • ධාරිතාව : - පෙර සඳහන් කල පරිදි SSD වල ධාරිතාව සමග එහි මිලත් වැඩි වේ. නමුත් ඔබ පරිගණකයේ සිදුකරන කාර්ය අනුව එහි ධාරිතාව තීරණය කල හැකිය. බොහෝ අවස්ථාවල 128GB වල සිට ඉහලට 512GB, 1TB ලෙස ධාරිතාවලින් මේවා මිලට ගැනීමට හැකිය. ඔබගේ පරිගණකයේ ඇත්තේ NVMe SSD එකක් පමණක් නම් තරමක් වැඩි ඉඩක් සහිත එකක් ගැනීමත්, SSD එකට අමතරව HDD එකක් සඳහා ඉඩක් ඇත්නම් SSD එක operating system එක හා අනෙක් software වලටත්, file තබා ගැනීමට HDD එක භාවිතා කිරීමටත් හැකිය.
  • Interface එක : - SSD, NVMe හෝ SATA යන interface සහිතව ලබාගැනීමට හැකියාව ඇති අතර මේවායේ වේගයන් ද එකිනෙකෙනකට වෙනස් වේ. කෙසේ වෙතත් සමහර පරිගණක වල NVMe හෝ  M.2 වැනි port නොමැති නිසා පරිගණකයෙ මොඩලය අනුව ගැලපෙන SSD එකක් ලබා ගැනීම වටී.
  • ශක්ති පරිභෝජනය : - SSD වල ශක්ති පරිභෝජනය HDD වලට වඩා අඩු නමුත් SSD එකක් මිලට ගැනීමේදී එහි ශක්ති පරිභෝජනය අඩු එකක් ගැනීමෙන් ලැප්ටොප් පරිගණකවලදී වැදගත් වේ.

    මුල් කාලයෙ මිල ඉතා අධික වූ නමුත් කාලයත් සමග නිෂ්පාදන ඉහල යාමත් සමග SSD වල පෙරට වඩා අඩු වී ඇත. කෙසේ නමුත් මෙ වන විට ලෝකයේ පවතින චිප් හිඟය (chip shortage) නිසා මිල වැඩි වීමක් සිදුවිය හැකිය. කෙසේ නමුත් HDD වලට වඩා තවමත් SSD මිලෙන් ඉහල අගයක් ගනී.

👉 ලංකාවේ දැනට විකිණීමට ඇති SSD කිහිපයක් හා මිලගණන්

සන්නාමය හා මාදිලිය ධාරිතාව වේගය මිල* Link
Western Digital - SATA 120GB 545 MB/s (R) Rs. 5,899 (Go to link)
Kingston A400 - SATA 240GB 600 MB/s (R) Rs. 8,900 (Go to link)
Kingston M.2 A400 120GB

500 MB/s (R)

350 MB/s (W)

Rs. 5,700 (Go to link)
WD Green M.2 2280 250GB

500 MB/s (R)

465 MB/s (W)

Rs. 9,990 (Go to link)

 (*මෙම මිල ගනන් 2022/11/26 දින සඳහන් වූ මිල ගණන් වන අතර පසු කාලීනව වෙනස් විය හැකිය. මෙහි දක්වා ඇති එක් එක් උපාංඟ වල වේගයන් නිෂ්පාදකයා විසින් ලබාදුන් ඒවා වන අතර උපාංඟ අනුව වෙනස් විය හැකිය.)

5 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. ++++++++++++++++++++++++++++++++++++++
    කොළොම්පුරේ අසංග

    ReplyDelete
  2. හොඳ ලිපියක් එකම ප්‍රශ්නේ SSD වල ධාරිතාව අඩු නිසා visual studio , SQL සර්වර් හෙම දාල තව ප්‍රෝග්‍රෑම් දෙක තුනක් දැම්මම ච ඩ්‍රයිව් එක පිරිලා ඉවරයි. හෙන වාතයක්. තැන ඩ්‍රයිව් එකක් තියෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්නෙ තමයි ආවොත් ලොකුවටම බලපාන්නෙ. ඒත් දැන් 1TB විතර SSD තියෙන නිසා ලොකු අවුලක් නෑ කියලා මට හිතෙන්නෙ. කොහොම උනත් SSD එකෙත් speed එක ගැන හිතන්න වෙනවා. නැත්තන්ම් HDD වලට වඩා හපන්.

      Delete
Previous Post Next Post

Recent Post

Features