තෑගි දෙන WatsApp මැසේජ්!

         Watsapp කියන්නෙ පණිවිඩ හුවමාරු කරන්න, වීඩියෝ, ඕඩියෝ කෝල් ගන්න වගේම ෆොටෝ වීඩියෝ ශෙයාර් කරගන්න තියෙන හොඳ චැටින් ඇප් එකක්. කාලෙන් කාලෙට එක එක දේවල් මේ ඇප් එකේ හරහා ගෲප් හරහා වගේම දන්න අඳුනන අයගෙනුත් ශෙයාර් වෙනවා දැකලා අති. ඒ අතරින් මැසේජ් එක තව 10 කට, 100 කට ශෙයා කරලා නොමිලේ රීලෝඩ්, ඩේටා වගේම වාහන දිනාගන්නත් පුළුවන් මැසේජ් දැකලා තියෙනවද?

👉මොනවද මේ නොමිලේ තෑගි දෙන මැසේජ්

        ඔයත් "Airtel - Etisalat - Hutch - Dialog - Mobitel are happy to offer everyone ₨2000 of call credit and 50GB of free internet available for one month - ඇති තරම් ෆ්‍රී රිලෝඩ් !!" , "සීතල නත්තලේ 50GB දක්වා නොමිලේ Data දිනාගැනීමට මෙන්න ඔබට සුපිරි අවස්ථාවක්" වගේ එක එක විදියට ලිංක් එකක් එක්ක ශෙයාර් වෙන මැසේජස් දැකලා ඇති. ඇත්තටම මේවා මේ කියන විදියට තෑගි ලබා දෙනවද? ඇත්තම කතාව තමයි මේ වගේ එවන ලිංක් වලින් 99% ක්ම එවා බොරු! මේ විදියට එවන පණිවිඩ වලින් ලබාදෙන ලිංක් වලින් ඇත්තටම ඔවුන් කරන්නෙ ඒ හා සබැඳි වෙබ් අඩවි වල තිබෙන ඇඩ් ක්ලික් කරවාගෙන මුදල් ඉපයීමයි. එසේ නොමැති නම් වයිරස් වැඩසටහන් ඩවුන්ලෝඩ් කරවීම හෝ පරිශීලකයින්ගෙ ක්‍රෙඩිට් කාඩ් විස්තර ලබාගෙන ඒවා හරහා මුදල් සොරකම් කිරීමයි.

👉ගැටේට ඉබේම අහුවෙන හැටි

        මේම පණිවිඩ වලට හසු වෙන බොහෝ දෙනෙක් මේ ගැන අවබෝධයක් හෝ බරපතල කමක් නොදැන හසුවෙන අය වෙයි. 

  • ඉතා සිත් ඇදගන්නා ලෙස හා විශ්වාසය ඇතිවෙන ආකාරයට පණිවිඩය සකස් කර තිබීම.
  • ඉතා සීමිත සංඛ්යාවකට පමණක් ලබාදෙන බව පවසන පණිවිඩයක් වෙබ් පිටුවේ තිබීම.
  • එය ලබා ගැනීමට එක් කොන්දේසියක් ලෙස එම පණිවිඩය පිරිසක් අතර බෙදාහැරිය යුතු බව පැවසීම.
  • ඉතා ප්‍රසිද්ධ, ජනප්‍රිය සමාගම් වල භාණ්ඩ හා සේවා නොමිලේ ලබාදෙන බව පැවසීම.

   වැනි කරුණු නිසා පැතිරීම වේගවත් වීම හා ලෙහෙසියෙන්ම මිනිසුන් රැවටී මේවාට හසුවීමට හේතු වී ඇත. මෙසේ පණිවිඩය අධික ලෙස හුවමාරු වෙමින් එම වෙබ් අඩවි වෙත පැමිණෙන පිරිස මගින් ඇඩ් ක්ලික් කරවාගෙන එම ස්කැමර් මුදල් උපයාගැනීම සිදු කරයි. තවත් සමහර අයට මෙවැනි ලිංක් ක්ලික් කිරීමෙන් පසු නොකඩවා දුරකතනයට ඇඩ් සහිත notification වැනි දෑ සිදුවිය හැකිය.

👉මෙවැනි scam පණිවිඩ හඳුනාගන්නෙ කෙසේද?

        කොහොම නමුත් මේ විදිහට එන scam messages අඳුනගන්න සරල ක්‍රම කිහිපයක් තියෙනවා.

  •  එකම පණිවිඩය නිතර නිතර ශෙයාර් වීම
    • බොහෝමයක් අවස්ථාවලදී මෙම පණිවිඩ වලට රැවටුන අය මේවා ගෲප් තුල, ඉන්බොක්ස් තුල ශෙයා කරනු ලබයි. එසේ අසාමාන්‍ය ලෙස ඉහත ආකාරයේ පණිවිඩයක් ශෙයාර් වේ නම් එය බොහෝ විට මෙවැනි ආකාරයේ එකකි. පණිවිඩය තුල "forwarded many times."  ලෙස දිස් වන්නෙද මෙසේ බොහෝ වාරයක් හුවමාරු වූ පණිවිඩයි.
  • හඳුනා නොගත් අංක වලින් මෙම පණිවිඩ පැමිණීම.
  • වංචනික හා සැක සහිත ලිංක්.
    • මෙවැනි පණිවිඩ සමග ලැබෙන ලිංක් බොහෝවිට bit.ly වැනි සේවාවකින් කෙටිකර ලබා දී ඇත. එසේම එම තෑග්ග ලබාදේ යැයි පැවසෙන ආයතනයේ වෙබ් අඩවියේ නමට අසමාන හෝ බොහෝ සෙයින් සමාන ලිංක් එකක් විය හැකිය.
  • Login/Verification Requests
    • ලිංක් එකක් හරහා ගිය විට තමන්ගේ පුද්ගලික ගිණුමකට ලොග් වීමට හෝ verification ලබා දෙන ලෙස ඉල්ලීම.
  • පුද්ගලික විස්තර ඉල්ලීම
  • තව අය අතර බෙදාහැරිය යුතු බව පැවසීම.
    මේ ආකාරයේ ලක්ෂණ ඇති පණිවිඩ 99%ක් ම කිසියම් අනර්තකාරී ක්‍රියාවක් සඳහා සැකසූ පණිවිඩ වේ.

👉බේරෙන හැටි
    පහත දැක්වෙන ආකාරයේ ඉතා සරල පියවර කිහිපයක් අනුගමනය කිරීම මගින් මේ ආකාරයේ අනාරක්ෂිත පණිවිඩ වලින් ආරක්ෂා විය හැකිය.
  • නන්නාදුනන පණිවිඩ ඔස්සේ පැමිණෙන ලිංක් ක්ලික් කිරීමෙන් වැලකීම, එවැනි අංක බ්ලොක් කිරීම හා රිපෝර්ට් කිරීම.
  • කිසිදු පදනමක් නොමැතිව ඉතා වටිනා දේ නොමිලේ දෙන බව පවසන පණිවිඩ සමග ගණුදෙනු නොකිරීම.
  • විශ්වාසවන්ත නොවන කිසිම වෙබ් අඩවියක තමන්ගේ පුද්ගලික තොරතුරු කිසිවක් ලබා නොදීම.
  • ඉහත ආකාරයේ පණිවිඩ එවන අංක අවහිර (Block) කිරීම.
  • සුදුසු ඇන්ටි මැල්වෙයා වැඩසටහනක් භාවිත කිරීම.

ප.ලි : මේ ලිපිය ලියන්න හේතු උනේ නොමිලේ 50GB, 100GB ඩේටා, සංවත්සරය සමරනවා යැයි කියාගෙන නොමිලේ ලැම්බොගිනි කාර් දෙනවා කියාගන්නා මැසේජ් හතර අතේ ශෙයාර් කරමින් හත්පොලේ ගාගන්නා ජහමනතාවක් ලංකාවෙ ඉන්න නිසා මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න උවමනා වු නිසයි. උන්ගෙ සංවත්සරයට නොමිලේ මැසේජ් ශෙයා කරා කියා උන්ට ලැබෙන ලබ්බක් නැතිවාක් මෙන්ම නිකං කාර් ඩේටා දෙන්නට රුදාවක් නැතිය 😂. අන්න ඒ ටික ලබු ගෙඩියක් වගේ ඔලුවෙ තියෙන අබ ඇටයක් තරම් මොළේට තේරුනොත් ඇතිය. අපේ සම-හරක් උන්ට නිකං දෙනවා කීවොත් මොන පඩික්කමත් අවුලක් නැතිය (75 අවුරුද්දක් තිස්සේ රැවටෙන්නෙද මෙසේමය.). ඒ නිසා නිකං දේවල් ගන්න ගිහින් තියෙන එකත් නැති කරගෙන නාහෙන් අඬන්න එපා කියලා අන්තිමට කියන්න කැමති. දැන්වත් නොමිලේ වෙනුවට මිලදී ගන්න වැඩ කරන්න පටන් ගන්න. මෝඩ නොවෙන්න දැනුවත් වෙන්න.

9 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

  1. Important article. Thank u techsayura ❤️

    ReplyDelete
  2. ඇයි ඔහේට ලැම්බේගිනියක් එපා ද?

    මේකෙ එකවුන්ට් එකෙන් කොමෙන්ට් කරන්න බෑ.

    னයා

    ReplyDelete
    Replies
    1. 50GB ඩේටා ඕනි. ගිනි එපා අයියෙ 🤣. ඔය කේස් එක ගූගල් කුකීවල අවුලක් මම මේ ඒක බලනවා

      Delete
  3. බහුතර ඒවා දැක්ක ගමන්ම තේරෙනවනෙ... බොරු කියල. මිනිස්සු ඇන්ඳෙන එක තමයි වැඩේ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු හරි ඉක්මනින් රැවටෙනවා.. මේ කොච්චර කීවත් ආයෙ එකක් යැව්වොත් ආයෙ යනවා.

      Delete
  4. හිමකැට වැටි ඇටමිදුලු ලේ ගල්වන මේ සීතල නත්තලේ අසිරිය විදිමින් ටෙක්සයුරේ පිහිනා යන ටෙක් මලයාට සුබ නව වසරක් පතමින් අධිතාක්ෂනික සුපිරි නවතම V8 රථයක් දිනාගන්නට මේ මහගු අවස්ථාවයි. ඔබට තියෙන්නේ වට්ස් ඇප් තාක්ෂනය ඔස්සේ "Pray for ටෙක්මලයා... SAVE ටෙක්මලයා" යන වචනය 100 දෙනෙකුට යැවිම පමණයි. ඉක්මන් කරන්න තොග සීමිතයි.... දින අසීමිතයි.....

    මීට නත්තල් පප්පා....

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් වේවා නත්තල් පප්පේ 😁. Marketing එක වෙනුවෙන් මගෙන් ඔයාට ලැම්බොනියක් එවන්න ඔය මැසේජ් එකම 1000 කට ශෙයා කරන්න පප්පේ!

      Delete
  5. ඉතා සතුටින් දන්වන වග නම්; මේ දිනවල බ්ලොග් හමුවක් පිළිබඳ කතිකාවතක් ඇතිවී ඇත. දැනට යෝජනා වී ඇති අකාරයට බොහෝ විට එය අප්‍රේල් මාසයේදී යෙදෙනු ඇත! මේ පිළිබඳව ඔබගේ සහභාගීත්වය, ස්ථානය, දිනය හා ආකෘථිය පිළිබඳව මෙහි ලියා හෝ අපගේ ලිපිනයට දන්වන්නේ නම් මැනවි. මෙයට සමගාමීව බොහෝ පැරණි බ්ලොග් ලියන්නන් නැවත ලිවීම අරඹා ඇති බව දන්වන්නේ සතුටිනි.
    අපගේ සින්ඩියේ පලකොට ඇති පෝස්ටුවක වැඩි විස්තර දැක්වේ. පිවිස කියවන්න!

    ReplyDelete
Previous Post Next Post

Recent Post

Features