අවසන් ගමන් යන Windows 10

 ලොව පුරා වින්ඩෝස් 10 සමග ක්‍රියාත්මක වන පරිගණක භාවිතා කරන බොහෝ දෙනෙකුට ඉතා වැදගත් වන විශාල වෙනසක් අද දින (14) වීමට නියමිතයි. එනම් මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගම විසින් වින්ඩෝස් 10 (Windows 10) මෙහෙයුම් පද්ධතිය සඳහා සහයෝගය දැක්වීම අවසන් කිරීමයි.

ඔක්තෝබර් 14, අඟහරුවාදා වන අද දිනට පසුව මෙම පරිගණකවල ආරක්ෂාව අවදානමට ලක්විය හැකියි. මන්දයත්, අද සිට ආරක්ෂක යාවත්කාලීන කිරීම් නතර වීම නිසා ඔබේ වින්ඩෝස් 10 මගින් ක්‍රියාත්මක වන පරිගණක සයිබර් ප්‍රහාරයන්ට නිරාවරණය වන වීමට වඩාත් ඉඩකඩ පැවතෙන නිසාවෙනි.

කාටද මේක බලපාන්නේ?

වින්ඩෝස් යනු ලෝකයේ වඩාත්ම ජනප්‍රිය පරිගණක මෙහෙයුම් පද්ධතිය වන අතර, මයික්‍රොසොෆ්ට් සමාගම පවසන්නේ දැනට ලෝකයේ උපාංග බිලියන 1.4කට වඩා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය  භාවිතා වන බවයි.

ස්ටැට්කවුන්ටර් (Statcounter) ආයතනයට අනුව, 2025 ජූලි මාසය වන විට, මෙයින් දළ වශයෙන් 43% ක් පමණ තවමත් වින්ඩෝස් 10 භාවිතා කරමින් සිටින අතර, බ්‍රිතාන්‍යයේ පමණක් මිලියන 21 ක ජනතාවක් වින්ඩෝස් 10 භාවිතා කරන බවට එරට පාරිභෝගික මාර්ගෝපදේශක "Which?" ආයතනය ඇස්තමේන්තු කර තිබේ.

කළ යුත්තේ කුමක්ද?

මයික්‍රොසොෆ්ට් සමාගම පෞද්ගලික පරිශීලකයින්ට මූලික වශයෙන් විකල්ප දෙකක් ලබා දෙනවා:

වින්ඩෝස් 11 (Windows 11) වෙත Upgrade කිරීම

    • දැනට වින්ඩෝස් 10 ක්‍රියාත්මක වන crack නොවන valid key එකක් සහිත  වින්ඩෝස් 11 සඳහා සුදුසුකම් ලබන පරිගණක හිමියන්ට නොමිලේ Upgrade කළ හැකියි.
    • කෙසේ වෙතත්, බොහෝ පරිගණකවලට එයට යාවත්කාලීන කළ නොහැකි අතර, "දැනට හොඳින් ක්‍රියාත්මක වන" පරිගණක තිබියදීත්, නව උපාංග මිලදී ගැනීමට සිදුවනු ඇතැයි පාරිභෝගික කණ්ඩායම් චෝදනා කරනවා.

Extended Security Updates (ESU) සඳහා ලියාපදිංචි වීම:

    • ඔබට ඉක්මනින්ම upgrade කිරීමට අවශ්‍ය නැතිනම්, හෝ ඔබේ උපාංගය වින්ඩෝස් 11 සඳහා සුදුසු නොවේ නම්, ඔබට 2026 ඔක්තෝබර් වන තෙක් වැදගත්ම ආරක්ෂක update කිරීම් අඛණ්ඩව ලබා දෙන වැඩසටහනකට ලියාපදිංචි විය හැකියි.
    • මෙය ESU ලෙස හඳුන්වනු ලබන අතර, මෙහිදී වෙනත් තාක්ෂණික සහයෝගයක් හෝ මෘදුකාංග යාවත්කාලීන කිරීම් ලබා දෙන්නේ නැහැ.

ESU ලබන්නේ කොහොමද?

  • යුරෝපීය ආර්ථික කලාපයේ (EEA) සිටින අයට ලියාපදිංචි වීමෙන් නොමිලේ එය ලබා ගත හැකියි.
  • අනෙක් පරිශීලකයින්ට මෙය නොමිලේ ලබා ගැනීමට නම්, ඔවුන් නවතම වින්ඩෝස් 10 release එක වෙත update කර හා මයික්‍රොසොෆ්ට් ගිණුමක් (Microsoft account) සම්බන්ධ කර තිබිය යුතු අතර ඔවුන්ගේ පරිගණක backed up කර තිබිය යුතු වීමද වැදගත්වේ.
  • එසේ නොමැති නම්, ESU ලබා ගැනීම සඳහා $30 (ආසන්න වශයෙන් රු. 9000/=) ක ගාස්තුවක් ගෙවීමට හෝ මයික්‍රොසොෆ්ට් රිවෝඩ්ස් (Microsoft Rewards) ලකුණු 1,000 ක් භාවිතා කිරීමට සිදුවේ.
  • ව්‍යාපාරික ආයතන සඳහා එක් උපාංගයක් සඳහා $61(ආසන්න වශයෙන් රු. 18000/=) ක් වැය වේ.

වින්ඩෝස් 10 මතම සිටීමේ අවදානමක් තියෙනවාද?

පෙර සඳහන් පරිදි අද පටන් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 10 පරිගණක වෙත තවදුරටත් Critical Security Update නිකුත් කිරීම් සහ fixes යැවීම නවත්වනු ඇත.

  • මේ නිසා වෛරස් හෝ අනිෂ්ට මෘදුකාංග (malicious software) වැනි තර්ජන වලට ඔබේ උපාංගය අවදානමට ලක් වීමට වඩාත් ඉඩ ඇත - මන්ද ඒවාට එරෙහිව ක්‍රියාත්මක වන නවතම ආරක්ෂක ක්‍රම ඔබට නොලැබෙන බැවිනි.
  • නව හෝ දැනටම ක්‍රියාත්මක වන ඇතැම් software සමඟ වින්ඩෝස් 10 සහිත පරිගණක නිවැරදි ක්‍රියාත්මක නෝවීම් සිදුවිය හැකි බවට මයික්‍රොසොෆ්ට් පාරිභෝගික අලෙවි ප්‍රධානී යුසුෆ් මෙහ්දි පවසා තිබෙනවා.
  • මීට අමතරව, පැරණි මෙහෙයුම් පද්ධති වෙත නවතම විශේෂාංග යැවීම නැවැත්වීම නිසා වෙනත් මෘදුකාංගවල ක්‍රියාකාරීත්වයේ අඩුවීමක් ද විය හැක.

පාරිභෝගික චෝදනා

වින්ඩෝස් 10 සහයෝගය අවසන් කිරීම අනවශ්‍ය වියදම් සහ පාරිසරික නාස්තියකට තුඩු දෙනු ඇතැයි පවසමින් පාරිභෝගිකයින් දැඩි ලෙස මයික්‍රෝසොෆ්ට් සමාගම විවේචනය කර ඇත. වින්ඩෝස් 10 හොඳින් ක්‍රියාත්මක වන තරමක් පැරණි පරිගණක වින්ඩෝස් 11 වෙත upgrade කිරීමට Trusted Platform Module (TPM) version 2.0 වැනි විශේෂ hardware සුදුසුකම් අවශ්‍ය වීම මෙයට හේතුවයි.

1 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features