March 29, 2015

මයික්‍රෝසොෆ්ට් වෙතින් රෙස්ලින් ක්‍රීඩකයන්ට අත් පටියක්

රෙස්ලින් ක්‍රීඩකයින් සඳහා නිපදවූ විශේෂිත අත් පළඳනාවක් මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් දැන් නිපදවා තිබේ. මේ නව උපාංඟය වෙළඳ පොලෙන් පහසුවෙන් මිලදී ගත හැකිවන පරිදි එය සංවර්ධනය කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගම දැන් කටයුතු සිදු කරයි. එසේම WrestleMania 31 දී ලෝ ප්‍රකට WWE ක්‍රීඩකයින් දෙදෙනෙකු වන රයිබැක් හා ඩොල්ෆ් සිගර් යොදා ගෙන මෙය අත්හදා බැලීමට නියමිතය. මෙම තරඟය අද දින Santa Clara ක්‍රීඩාංඟනයේදී පැවැත්වේ.
මෙහිදී මෙම අත් පළඳනාව රයිබැක් හා ඩොල්ෆ් සිගර් විසින් පළඳින අතර ඔවුන්ගේ ශරීර සුවතා මට්ටම මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් සවිකරන ලද තිරයක් (Microsoft Health live Dashboard) මඟින් ප්‍රේක්ෂකයන්ට දැක බලා ගත හැකිය. විශේෂිත කරුණක් වන්නේ මෙම ශරීර සුවතා මට්ටම් ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය හරහා බලා ගත හැකි වීමයි
            රෙස්ලිං ක්‍රීඩාව ඉතා භයානක ක්‍රීඩාවකි. එහිදී ඇතැම් විට මරණය පවා අත් විය හැකිය. මීට දින කිහිපයකට ඉහත දී ද එවැනි සිදුවීමක් වාර්ථා විය. මෙම නිෂ්පාදනය තුලින් එවැනි අවාසනාවන්ත ඉරණම් වලින් ක්‍රීඩකයන් මුදවා ගැනීමට හැකිවනු ඇත. එසේම WWE ට ඇදී එන රෙස්ලිං ක්‍රීඩා ලෝලීන් වැඩි කර ගැනීමට හැකි වනු ඇතැයි WrestleMania හි අදහසයි.

March 28, 2015

ආඩුයිනෝ දසවැනි උපන්දිනය අදයි!

පරිගණකයට සම්බන්ඳ කර වැඩසටහන් ඇතුලත් කර නොයෙක් වැඩ කල හැකි IC විශේෂයක් තිබේ. මයික්‍රොකොන්ට්‍රෝලර් යනුවෙන් හැඳින්වෙන්නේ මෙම IC වර්ගය හඳුන්වයි. සරලවම ගතහොත් මෙය සරල පරිගණකයකි. ‍රැම්, රොම්, රෙජිස්ටර සහිත කුඩා ප්‍රොසෙසරයක් වන මෙය ඊටම ආවෙනික වූ මෙහෙයුම් පද්ධතියකින් ක්‍රියාත්මක වේ.  මෙම මෙහෙයුම් පද්ධතිය සකස් කල හැක්කේ එය භාවිත කරන්නාටයි. තමාගේ කාර්‍යයට අවශ්‍ය පරිදි ඊට අදාල සැකසුම් සකස් කරමින් මෙම උපදෙස් මාලාව සැකසිය හැක. කලකට ඉහතදී මෙය විශේෂ පරිගණක දැනුම සහිත අයට පමණක් කල හැකි දෙයක් විනි. නමුත් 2005 මාර්තු 28 වන දා ඇරඹූ එක්තරා ව්‍යාපෘතියක් නිසා ආධුනිකයෙකුට වුවත් කල හැකි සේ සරල මට්ටමකට මේ මයික්‍රොකොන්ට්‍රෝලර් පත්විණි. ඒ ආඩුයිනෝ (Aeduino) ව්‍යාපෘතියයි.
ආඩුයිනෝ ව්‍යාපෘතිය ඇරඹුවේ ඉතාලියේ ඉව්රියා (Ivrea) නම් සමාගමක් විසිනි. ඔව්න් විසින් සකසා ඇති මිලෙන් අඩු සර්කිට් බෝඩය මයික්‍රොකොන්ට්‍රෝලර් IC එක සම්බන්ඳ කර තැනූ සම්පූර්ණ පරිපථයකි. එය ලබාගන්නා කෙනෙකුට කල යුත්තේ එය USB කෙවෙනිය හරහා පරිගණකයට සම්බන්ඳ කර ඊට අවශ්‍ය විධාන සැකසීමයි. මෙය පෝර්ට් ප්‍රොග්‍රැමින් ලෙස හඳුන්වයි . එම විධාන නැත්නම් වැඩසටහන් සකස් කිරීමට අදාල විශේෂ වැඩසටහනක් ආඩුයිනෝ වෙතින් නොමිලේම ලබාදේ. එය වෙනස් කර තමාට අවශ්‍ය පරිදි වුවද සකසා ගත හැකි ඕපන්සෝස් එකකි. ලිනක්ස්, වින්ඩෝස්, ඇපල් යන ඕනෑම මෙහෙයුම් පද්ධති මත සාර්ථකව ධාවනය කල හැක. එනම් මෙය ලබාගන්නා කෙනෙකුට මුදල් වියදම් වන්නේ ආඩුයිනෝ බෝඩ් එකට පමණි. මෙයට අවශ්‍ය මෘදුකාංඟ හා ආධුනිකයින් සඳහා පාඩම් නොමිලේ ලබා දේ. දැන් මෙය යොදාගෙන අටෝරසියක් වැඩ කටයුතු කල හැක. නොයෙක් ක්‍රීඩා භාණ්ඩ සෑදීමට, රොබෝ යන්ත්‍ර, LED බල්බ රටා වැනි නොයෙක් වැඩකටයුතු සන්ඳහා මෙය යොදා ගත හැකිය. 
     නව නිපැයුම් කරුවන්, පාසල් සිසුන් මින් ලබන ප්‍රයෝජනය අතිමහත්ය. මේ සියලු ගෞරවය හිමිවන්නේ ආඩුයිනෝ සමාගමටය. එම සමාගමේ මේ ව්‍යාපෘතිය නොවන්නට තවමත් මයික්‍රොකොන්ට්‍රෝලර් යනු විද්‍යාගාර වලට සීමාවූවක් විය හැකි විණි. ලොව පුරා ජනප්‍රිය මේ ව්‍යාපෘතිය තවතවත් දියුණු කිරීමට හා ජනප්‍රිය කිරීමට සෑම වසරකම මාර්තු 28 වනදා රටවල් කිහිපයකදී 'ආඩුයිනෝ ඩේ' සමරයි. අද සමරන්නේ එහි දසවැනි උපන්දිනයයි...

March 26, 2015

මල්ටි ප්ලග් එකක් පාවිච්චි කරනවද? මේ ගැනත් හිතන්න...

කවුරුත් දන්නවනේ මල්ටි ප්ලග් එකක් කියන්නෙ මොකක්ද කියලා. විදුලි උපකරණ කිහිපයක් එකවර විදුලියට සම්බන්ඳ කරන්න ඒක යොදා ගන්නවා. ඒත් මේ මල්ටි ප්ලග් එකක් පාවිච්චි කරන කොට දැනුවත්ව ඉන්න ඕනි කරුණු කිහිපයක් තියෙනවා. ඒකට හේතුව තමයි ප්‍රධාන විදුලි සබඳතාවයත් එක්ක අපි වැඩ කරන කොට ආරක්ෂාව ගැන හොඳට කල්පනාකාරී වෙන්න ඕනි එක.
හොඳ මල්ටි ප්ලග් එකක් ‍තෝරා ගන්නෙ කොහොමද?
ගොඩක් අය මල්ටි ප්ලග් එක හොයන්නෙ වැඩේ කට උඩ තියාගෙන. ඒ හින්ද අතට අහුවෙන එක අරගෙන යනවා. නමුත් මල්ටි ප්ලග් එකක් ගන්න කොට හොඳට හොයල බලල ගන්න ඕනි. මුලින්ම බලන්න ඕනි ‍ෆියුස් එකක් (විලායක) තියෙනවද කියලා. ‍ෆියුස් එකෙන් කරන්නේ වැඩි ධාරාවක් ගැලීමක් වුණෝතින් උපකරණ වලට සිදුවෙන හානිය වලකන එක. ඊළඟට මල්ටි ප්ලග් එකේ වයර් එකයි පේනුව(Plug)  ගැනයි බලන්න ඕනි. මේකට සම්බඳ කරලා තියෙන ප්ලග් එක අනිවාර්‍යයෙන්ම තුන්කූරු පේනුවක් වෙන්නම ඕනි. ගොඩදෙනෙක් තුන්කූරු පේනුවෙ තියෙන භූගත අග්‍රය (Earth) ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නෑ.. මේක ආරක්ෂාවට ගොඩක් වැදගත්. විදුලි උපකරණයක් ක්‍රියාත්මක වෙනකොට හදිසියේ හෝ සිදුවන විදුලි කාන්දු වීම් මේ භූගත අග්‍රය හරහා භූගත කරනවා. ඒ හින්දා ඒක පාවිච්චි කරන කෙනාට විදුලි සැර වදින්නෙ නෑ. තමන්ගෙ කොම්පියුටරේ මොනිටරය CRT එකක් තියෙන සමහර අයට නම් මේ අත්දැකිම ඇති. මල්ටි ප්ලග් එකේ අර්ත් එක එහෙම නැත්නම් භූගත අග්‍රය නැත්නම් හරි හරියට සම්බන්ඳ වෙලා නැත්නම් හරි මොනිටරයෙ තිරය ස්පර්ෂ කරන කොට විදුලි සැර වදිනවා. ඒ වගේම මල්ටි ප්ලග් එකක නිමාව ගැනත් බලන්න ඕනි. පහසුවෙන් නොකැඩෙන සවිමත් ප්ලාස්ටික් වලින් නිපදවුණ එකක් නම් තමයි හොඳ.

 භාවිත කරන අන්දම.. 
 දැන් තමයි වැදගත්ම කොටසට ආවෙ. මල්ටි ප්ලග් එකක් පාවිච්චි කරන්නෙ විදුලි උපකරණ කිහිපයක් එකවර සම්බන්ඳ කරගන්න වුණත් ඒවටත් සීමාවක් තියෙනවා. ඒකට හේතුව තමයි මල්ටි ප්ලග් එකකට දරාගන්න පුලුවන් සීමාවක් තියෙනවා. විශේෂයෙන් වැඩි ධාරාවකින් ක්‍රියාත්මක වෙන උපකරණ කිසිවිටකත් මල්ටි ප්ලග් හරහා සම්බන්ඳ කරන්න හොඳ නෑ. රයිස් කුකර්, හීටර්, ඉස්තිරික්ක වගේ උපකරණ උදාහරණයට ගන්න පුලුවන්. එහෙම නැතිව සම්බන්ඳ කරන කොට මල්ටි ප්ලග් එක රත්වෙන්න ගන්නවා. ගින්නක් වෙනකන් දුරදිග යන්න මේක හොඳටම ඇති. මල්ටි ප්ලග් එක ඇතුලෙන් බොහෝ වෙලාවට අග්‍ර එකිනෙක අමුණලා තියෙන්නෙ පොඩි වයර් නැත්නම් යකඩ පතුරු වලින්. ඒ හින්ඳා එවට වැඩි ධාරාවකට ඔරොත්තු දෙන්න අමාරුයි. නමුත් ඩ්‍රිල් එකක් වගේ එකක තියෙන වයර් එකේ දිග ප්‍රමාණවත් නැති නිසා අපිට මල්ටි ප්ලග් එකක් ඕනි වෙනවා. ඒකට විසඳුමක් තියෙනවා. ඒ තමයි අපේ ගෙවල් වල තියෙන ප්ලග් පොයින්ට් එකක් අලුතෙන් අරගෙන ඒකට වයරින් කරන වයර් 2ක් සවි කරලා හදාගන්න එක. ඒකට වැඩි ධාරාවකට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. හැම වෙලාවකම මල්ටි ප්ලග් එක පිරිසිදුව තියාගන්න බලන්න. වතුර, දූවිලි වලින් ඈත් කරල තියන්න. මාසයකට වතාවක් වත් පරික්ෂා කරලා පිරිසිදු කරලා තියන්න. යම් තැනක ප්ලාස්ටික් උණුවෙලා වගේ තියනවනම් එය භාවිතය තරමක් අනතුරුදායක විය හැකිය.

March 23, 2015

CPU Usage එක බලන්න VB ප්‍රෝග්‍රෑම් එකක්

කොම්පියුටරේ ටාස්ක් මැනේජර් එකේ අපිට ප්‍රොසෙසරයේ ඒ වේලාවෙ භාවිතාවන ප්‍රමාණය (CPU Usage) බලාගන්න පුලුවන්. මේ VB ප්‍රෝග්‍රෑම් එකේ තියෙන්නෙ අන්න ඒ වගේ ප්‍රොසෙසර් එකේ  වැඩ කරන ප්‍රමාණය බලාගන්න පුලුවන් ප්‍රෝග්‍රෑම් එකක් හදා ගන්නෙ කොහොමද කියලා.මේ විස්තර දිගටම පෙන්නන්න ටයිමර් එකක් වෙනුවට Do ලූප් එකක් යොදා ගෙන තියෙනවා. සංකීර්ණ වැඩක් වගේ පෙනුනට මේක ඉතාමත් සරල වැඩසටහනක්.සෝස් කෝඩ් එක පහලින් ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්. ගැටලු තියෙනව නම් කමෙන්ට් එකක් දාන්න.

March 20, 2015

විදුලිය නිපදවන ගූගල් සරුංගලය...

         මේක කියවනකොට හිතෙයි සමහරවිට පිස්සු අදහසක් නේද කියලා. ඒ තරමට මේක ටිකක් අමුතු විදිහෙ වැඩක්. ගූගල් එකේ අය කොහොමත් පුදුම හිතෙන් වැඩ කරන අයනේ. මේක ගූගල් එක්ස් ප්‍රොජෙක්ට්  (Google X) ට අයත් කොටසක්. ගූගල් එක්ස්  කියන්නේ අධි තාක්ෂණික මෙවලම් දියුණු කරන්න ගූගල් සමාගමෙන් පටන් ගත්ත ව්‍යාපෘතියක්. දැනට ටික දවසකට ඉස්සර ලොවට හඳුන්වල දුන්න රියදුරෙක් නැති කාර් එක (Google Self-driving car), ගූගල් ග්ලාස් (Google Glass) එහෙමත් මේ ව්‍යාපෘතියෙම කොටස්. ඒ විදියට දියුණු කරපු තවත් විශේෂ තාක්ෂණයක් තමයි සුළඟ මගින් විදුලිය නිපදවන්න අලුත් ක්‍රමයක් යොදාගන්න එක.
           මේ ප්‍රොජෙක්ට් එකේ නම මකානි (MAKANI) සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන සුළං විදුලි බලාගාර තියෙන්නෙ පොළොවෙ එක තැනක සවි කරලා. ඒත් මේ ක්‍රමයේදී කරන්නේ විදුලිය නිපදවන ටර්බයින සරුංගලයක සවිකරලා ගුවනේ පා කරන එක. මේ සරුංඟලය සාමාන්‍ය එකක් නම් නෙවෙයි. ඒක මේ වැඩේටම හදපු විශේෂිත සරුංඟලයක්. හරියට පොඩි ප්ලේන් එකක් වගේ එකක්. කාබන් ෆයිබර් වලින් තමයි හදලා තියෙන්නෙ. කම්බියකින් සරුංඟලය පොළවේ සම්බන්ධකය එක්ක සම්බන්ධ කරලා තියෙනවා.
       මුලින්ම සරුඟලය ගුවනට යවනවා. ඒකට සරුංගලයේ තියෙන අවරපෙති  ම යොදා ගන්නවා මෙහෙම සරුංගලය ගුවනට යැව්වට පස්සෙ ඒක වෘත්තයක ගමන් කරනවා. දැන් සරුංගලයෙ තියෙන ටර්බයින සරුංගලය හරහා හමන සුළඟට කැරකෙනවා. ඉතින් මේ ටර්බයින වලින් නිපදවෙන විදුලිය නැවත පහළට ගන්න පුලුවන්. ඒකට සරුංගලය සම්බන්ද කරලා තියෙන කම්බියම යොදා ගන්නවා. මේ ක්‍රමය අඩු සම්පත් භාවිතයකින් වැඩි බලශක්තියක් නිපදවන්න පුලුවන් කියලා ගූගල් සමාගම  විසින් පෙන්නලා දීලා තියෙනවා. තව ටික දිනකින් අපිටත් අහසෙ තැනින් තැන මේ වගේ සරුංඟල් දකින්නට ලැබේවි...!


March 19, 2015

ඔ‍ෆිස් 2016 අත්හදා බැලීමේ සංස්කරණය නිකුත්වේ

                                                         මයික්‍රෝසොෆ්ට් සමාගමේ කාර්‍යාල මෘදුකාංඟ පැකේජය වන මයික්‍රෝසොෆ්ට් ඔ‍ෆිස් (Microsoft Office) හි නවතම සංස්කරණය වන ඔ‍ෆිස් 2016 හි අත්හදා බැලීමේ සංස්කරණයක්  මෘදුකාංඟ සංවර්ධකයින්ට හා වෘතීයවේදීන් සඳහා මේ වන විට ලබා දී ඇ. ඉකුත් 16 වෙනිදා මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් මෙම නිවේදනය දී ඇත. ඔ‍ෆිස් සංස්කරණයේ ක්ලවුඩ් සංස්කරණය වන ඔ‍ෆිස් 365 දැනටමත් ලබාදිය හැකියාව ඇති බව ඔවුන් දන්වා සිටී. ලැබී ඇති තොරතුරු අනුව නව ඔ‍ෆිස් සංස්කරණයේ දත්ත රැඳවීමේ තාක්ෂණය වැඩි දියුණු කර ඇති අතර ඒ සඳහා විශේෂ තාක්ෂණික යෙදුම් දියුණු කර ඇත  (Active Directory Authentication Library). එසේම දත්ත අහිමිවීම වැලැක්වීමේ තාක්ෂණයක් [Data Loss Protection (DLP)] ද අලුත් ඔ‍ෆිස් පැකේජයට එක්කර තිබේ. වර්ඩ්, එක්සෙල් හා පවර්පොයින්ට් සමග මෙම තාක්ෂණය පැමිණෙනු ඇති. මෙසේ නිකුත් කර ඇති අත්හදා බැලීමේ සංස්කරණය තුල ඔ‍ෆිස් 2016 හි ලබා දෙන සියලු පහසුකම් හා විශේෂතා ඇතුලත් නොවන අතර මෙම අත්හදාබැලීමෙන්  පසුව මෙම පහසුකම් සහිතව එහි ඇති දෝෂ හා වෙනත් නිවැරදි කිරීම් නිවැරදි කර අවසාන නිෂ්පාදනය නිකුත් කරනු ඇත.

March 16, 2015

බීප් හඬින් ගෙනෙන පණිවිඩ...

                     අපේ පරිගණකයේ  හිටි අඩියේම ක්‍රියා විරහිත වන අවස්ථා තිබේ. එවිට පරිගණකය ක්‍රියාත්මක නොවී ඇතුලතින් "බීප්" හඬක් ඇසෙනවා ඇති. එය නිකම්ම නිකන් හඬක් නොවේ. ඒ හැම හඬකින්ම කිසියම් පණිවිඩයක් ලබාදේ. එනම් පරිගණකය ක්‍රියාත්මක නොවීමට අදාල හේතුව කුමක්ද යන වග මින් කියවේ. බොහෝ දෙනෙක් මේ ගැන නොදනී. නමුත් අපට ඒ බීප් කේතයෙන් කියවෙන දේ දන්නේ නම් දෝෂය පහසුවෙන් නිරාකරණය කර ගත හැකිය. මේ තිබෙන්නේ එම බීප් කේත හා එයින් කියවෙන පණිවිඩයි. නමුත් මේ කේත මව්පුවරුවේන්, මව්පුවරුවට වෙනස් වේ. ඒ නිසා දෝෂය සෙවිමට ප්‍රථම පරිගණකයට අයත් මව්පුවරුව ‍තෝරාගන්න.
AMI බයෝස් බීප් කේත
බීප් කේතය
           පණිවිඩය
කෙටි හඬ 1
  DRAM රී-ෆ්රෙෂ් වීමේ දෝෂයකි
කෙටි හඬ 2
  පරිපථයේ දෝෂයකි
කෙටි හඬ 3
  64K RAM දෝෂයකි
කෙටි හඬ 4
  පද්ධති කාල ගණකයේ (System timer) දෝෂයකි
කෙටි හඬ
  ප්‍රොසෙසරයේ දෝෂයකි(CPU)
කෙටි හඬ
  කී බෝඩයේ දෝෂයකි
කෙටි හඬ 7
  Virtual mode exception දෝෂය
කෙටි හඬ 8
  මතකය කියවීම/ලිවීම හඳුනාගත නොහැක.
කෙටි හඬ 9
  ROM බයෝස් දෝෂයකි
කෙටි හඬ 10
  CMOS කියවීම/ලිවී මේ දෝෂයකි
කෙටි හඬ 11
  කෑෂ් මතකයේ දෝෂයකි
දිගු හඬක් හා කෙටි හඬ 3
  මතකයේ දෝෂයකි
දිගු හඬක් හා කෙටි හඬ 8
  වීඩියෝ දෝෂයකි

AWARD බයෝස් බීප් කේත
බීප් කේතය
                පණිවිඩය
දිගු හඬක් හා කෙටි හඬ 2
ඩිස්ප්ලේ ඇඩැප්ටරය හඳුනාගත නොහැක
Any other beep(s)

Dell බයෝස් බීප් කේත
බීප් කේතය
පණිවිඩය
බීප් හඬ 7 (නොනැවතී)
ප්‍රොසෙසරයේ දෝෂයකි (CPU)

IBM බයෝස් බීප් කේත
බීප් කේතය
පණිවිඩය
කෙටි හඬ 1
කිසිඳු දෝෂයක් නොමැත
කෙටි හඬ 2  
POST දෝෂයකි
නොනැවතී නාදවීම
විදුලිය ලැබීමේ දෝෂයක් / එක්ස්පැන්ෂන් කාර්ඩ් බුරුල් වීමක් හෝ පරිපථ ලුහුවත් වීමක් (ෂෝට් වීමක්)
කෙටි බීප් හඬක් නොනැවතී නාදවීම
විදුලිය ලැබීමේ දෝෂයක් / එක්ස්පැන්ෂන් කාර්ඩ් බුරුල් වීමක් හෝ පරිපථ ලුහුවත් වීමක් (ෂෝට් වීමක්)
දිගු හඬක් හා කෙටි හඬ 1
මව්පුවරුවේ (Motherboard) දෝෂයක්
දිගු හඬක් හා කෙටි හඬ 2
 වීඩියෝ දෝෂයකි (Mono/CGA Display Circuitry)
දිගු හඬක් හා කෙටි හඬ 3
 වීඩියෝ පරිපථ දෝෂයකි (EGA)
දිගු හඬ 3
කී බෝඩයේ දෝෂයකි

Phoenix බයෝස් බීප් කේත
බීප් කේතය
පණිවිඩය and what to check
1-1-1-1
රැම් දෝෂයකි
1-1-2-1
CPU හඳුනාගැනීම
1-1-2-3
හාඩ්වෙයා හඳුනාගැනීම
1-1-3-1
චිප්සෙට් හඳුනාගැනීම
1-2-2-1
කී බෝඩය හඳුනාගැනීම
1-2-2-3
BIOS ROM හඳුනාගැනීම
2-1-1-1
CPU වේගය හඳුනාගැනීම
2-2-1-3
කී බෝඩය පරික්ෂා කිරීම
2-2-3-3
“Press F2 to enter SETUPදර්ෂණය වීම
2-4-1-1
දෝෂයක් දර්ෂණය වීම
2-4-1-3
දෝෂයක් පරික්ෂා කිරීම
2-4-2-3
කී බෝඩයේ දෝෂයක් පරික්ෂා කිරීම


March 9, 2015

වේගා! හදවතින්ම ශ්‍රී ලාංකිකයි!

ලැම්බෝගිනි, ටෙස්ලා ,ෆෙරාරි ,බුගාටි නම් අතරට අලුත් නමක් එකතුවෙන්න නියමිතයි. ඒ වේගා.. . සම්පූර්ණයෙන් ලංකාව තුලදීම නිපදවන ෆුල් ඉලෙක්ට්‍රික් ස්පෝර්ට් කාර් එක. මේ කාර් එකට තත්:3.5 ඇතුලත 0 -> 60 mph වේගයකට ළඟාවෙන්න පුලුවන්! ඒ වගේම මේ  රථයට පැ.කි.මි 220 ක උපරිම වේගයක් ලබා ගන්න පුලුවන්. ඒ කියන්නෙ රේසිං කාර් එකක්! එක පාරක් චාර්ජ් කරලා කි.මි 220ක් යන්න පුලුවන්...! ලංකාවෙ හදනවා කියන කොට සමහර අය පුදුම වේවි. ඒ තරමට හිත් ඇදගන්න පුලුවන් විදිහට මේ කාර් එක සැලසුම් කරලා තියෙනවා
මේ වැඩකටයුතු මෙහෙයවන්න, මුදල් යොදවන්නේ Codegen හි ප්‍රධාන විධායක නිලධාරි හර්ෂ සුබසිංහ මහතා විසිනුයි. 
      මේ වන විටත් ඔවුන්ගේ උත්සහය ඵල දරා ඇති බවත්, මේ මාසය තුලදි මෙහි ආකෘතිය නිමවා අවසන් කිරීමට හැකි බවත් ඔහු පවසා සිටී. වේගා ව්‍යාපෘතියේ ඉංජිනේරු උපදේශකවරයා වන තිලක් දිසානායක මහතා පවසන අන්දමට ඔව්න් දැන් මෝටර් රථයේ මූලික තාක්ෂණ යෙදවුම් නිර්මාණය කරමින් සිටී. තවද වේගා හි ව්‍යාපෘති කලමණාකරු වන ආචාර්ය බෙශාන් කුලපල පවසා සිටියේ "අපිට තියෙන ලොකුම අභියෝගය තමයි ලංකාව තුල මෙවැනි සංකීර්ණ තාක්ෂණික ව්‍යාපෘති පවා සිදුකරන්න පුලුවන් බව ඒත්තු ගන්වන එක.රට තුල දිවෙන මෝටර් රථ සියල්ල විදුලිය මගින් ක්‍රියාත්මක වෙනවනම් ඉන්ධන වලට වැයවෙන ඇමරිකානු ඩෝලර් මිලියන් 2.5 පමණ රටට ඉතිරි කරන්න පුලුවන්. " යනුවෙනි.
වේගා මෝටර් රථයේ බඳ කොටස් නිපදවීමට කාබන් ෆයිබර් යොදා ගනී. බල සැපයුමට ලිතියම් බැටරි පද්ධතියක් යොදා ගන්නා මෙහි අශ්ව බල 900 කින් යුතුය. රියදුරු සුක්කානම, ගියර හා අනෙකුත් සංරචක අතර ප්‍රතිචාර දැක්වීමේ කාලය අවම කිරීමට සංකීර්ණ පරිගණක ඇල්ගොරිතමයක් මෙහි ක්‍රියාත්මකවේ.


මේ විස්තරේ නම් දැනටමත් ගොඩක් අය දන්නවා. ඒත් මේ පෝස්ට් එක දාන්නෙ නොදැක්ක කෙනෙක් ඉන්නව නම් දැනගන්නත් එක්ක. මොකද මේ ගැන බ්ලොග් එකේ දැම්මෙ නැත්නම් වැඩක් නෑ..
හැමදාමත් කියනව වගේ ලෝකෙ ඉන්න සුපිරිම නිර්මාණ කරුවො ඉන්නෙ ලංකාවේ. නියමුවන් රහිත යානා හදන, බයිසිකලයටත් එන්ජින් එකක් හයි කරන්න තරම් හසල දැනුමක් තියෙන බුදිධිමත් අය අපේ රටේ ඉන්නවා. ඉතින් ඒ අය අතින් මේ වගේ වැඩක් වෙනවා කියන එක අරුමයක් නොවෙයි. මේ විස්තරය ගොඩක් වෙබ් සයිට් වල තිබුනා. ඒවට ගොඩක් විදේශීයන් මෙය වැදගත් කමක් නැති,සාර්ථක නොවන ව්‍යාපෘතියක් විදිහට අදහස් දක්වලා තිබුණා. ඒ ඔවුන්ගේ හැටිය. අප කුමක් හෝ දෙයක් පටන් ගත්විට එය කඩා කප්පල් කිරීමට ඔවුන් මාන බලති. අප වැනි කුඩා රටක් ඉදිරියට එනවාට ඔවුන් අකමැතිය. අපේ රටේ සමහර අයද එසේ සිතයි. වැඩක් කරන්න පටන් ගන්නා විට "ඔය වැඩේ හරියන්නෙ නෑ..." කියන්නන් බොහෝ දෙනෙක් අප රටේ තවමත් සිටී. වේගා වැනි ව්‍යාපෘති සාර්ථක විය යුත්තේ අන්න එවන් වූ අයට තරු විසි වන්නටය .
         අවු 30 යුද්ධයෙන් බැට කෑ අපට සිදුවූ පාඩුව සුලුප‍ටු නොවේ. රටට වැඩක් කිරීමට සිටි බොහෝ දෙනෙකුන් විදෙස් ගත වූයේ එහෙයිනි (බුද්ධි ගලනය). මේ එළඹ තිබෙන්නේ නැගී සිටිය යුතු කාලයයි... අපේ රට සතු මොළ අන් අය සතු වීමට නොදී අප සතු කර ගැනීමයි... ඔවුන්ගෙන් රටට වැඩක් ගැනීමයි.. වේගා ව්‍යාපෘතියද ඔවුන්ට වෙනත් රටක සිට ඉහළ තාක්ෂණය යොදා සිදු කිරීමට තිබිණි. නමුත් ඔවුන් තම මවු රට අමතක නොකලේය. "අපිටත් පුලුවන්..." කියමන ඔවුන් සනාථ කරයි .මහා ලොකු සංවර්ධන කටයුතු , ජනතා සුබසිද්ධිය ගැන සිතන දේශපාලඥයින් ඇස් ඇර බැලිය යුත්තේ අප රට සතු මෙවැනි නව නිර්මාණ කරුවන් දෙසයි... එසේම අප කල යුත්තේද මෙවැනි නිර්මාණ කරුවන් හට හැකි පමණින් අත හිත දීමය...
වේගාහි නිර්මාණ කරුවනි... ඔබ අපට අභිමානයකි...ආඩම්බරයකි...!

එකතුවෙන්න...

 
         
 

tech එකේ ඉන්න අය

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ලිපි එකතුව

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

tech සයුර Copyright © 2014 - All rights reserved.