September 30, 2014

වින්ඩෝස් 9 කොහොම වෙයිද?

   අද ලෝකයේ භාවිතා කරන පරිගණක වලින් වැඩි කොටසකම ඇත්තේ කුමන හෝ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියකි. මේ මෙහයුම් පද්ධති අතරින් දැනට තියෙන අලුත්ම සංස්කරණය වින්ඩෝස් 8.1 ය. මයික්‍රෝසොෆ්ට් සමාගමෙන් මීළඟට ඉදිරිපත් කිරීමට නියමිත වන්නේ වින්ඩෝස් 9 න් ය.2015 දී එනම් ලබන වසරේ දී මෙය නිකුත් කිරීමට නියමිතව ඇත. කෙසේ වෙතත් මේ නව මෙහෙයුම් පද්ධතිය ගැන නොයෙකුත් කට කතා පැතිරෙමින් තිබේ. මේ එවැනි ප්‍රසිද්ධ ආරංචි කිහිපයකි..
  • වින්ඩෝස් 8 හා 8.1 භාවිතා කරන අයට වින්ඩෝස් 9 නොමිලේ ලබා දීම..
දැනටමත් වින්ඩෝස් 8 හෝ 8.1 භාවිත කරන්නන්ට වින්ඩෝස් 9 නොමිලේ ලබා දෙන බවට දැන ගන්නට ලැබී ඇත. මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉන්දුනීසියාවේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ ප්‍රධානී ඇන්ඩ්‍රීස් ඩයන්ට්‍රෝ විසිනි. ඔහු පවසන ආකාරයන 8 හෝ 8.1 භාවිත කරන්නන් හට කල යුත්තේ තම මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් 9 වෙත යාවත්කාලීන කිරීම(Update) පමණක් බවයි.
  • අධි විභේදන 8K තිර වලට සහය දැක්වීම...
සුපැහැදිලි දසුන් ලබා දීමේ තාක්ෂනයක් වන 8K තාක්ෂණයට නව වින්ඩෝස් 9 මෙහෙයුම් පද්ධතිය සහය දක්වයි. කලින් ක්‍රියා කල ඇප් පෙරදීටත් වඩා හොඳින් දර්ෂණය කිරීමට මෙම තාක්ෂණය මඟින් හැකි වනු ඇත.
  • මීළඟ මෙහෙයුම් පද්ධතිය "වින්ඩෝස් 9" ලෙස නම් කිරීම..
මේ බව කියා ඇත්තේ ප්‍රංශයේ මයික්‍රෝසොෆ්ට් සභාපති ඇලීන් ක්‍රෝසියර් විසිනි. "ගිය අවුරුද්දේ අපි වින්ඩෝස් 8 ඉදිරිපත් කලා, ඉදිරිකාලයේදී අපි වින්ඩෝස් 9 ඉදිරිපත් කරනවා..." යනුවෙන් ඔහු පවසා ඇත.
  • අත් වැරදීමෙන් පිටවූ වින්ඩෝස් 9 ගැන් දැක්වෙන වීඩියෝ හා තිර සටහන්..
අත් වැරදීම් නිසා පිටවූ තිර සටහන් වලට අනුව පැරණි ස්ටාට් මෙනුව වින්ඩෝස් 9 සමග පැමිණේ.

  • කොර්නාටා කෘතීම බුද්ධි වැඩසටහන සමග පැමිණීම...
     කොර්නාටා යනු මයික්‍රෝසොෆ්ට් සමාගමේ කෘතීම බුද්ධි වැඩසටහනයි. මෙය නිර්මාණය කලේ වින්ඩෝස් මොබයිල් සංස්කරණය වන වින්ඩෝස් ෆෝන් සඳහාය.දැන් එය 9 සමගද දීමට යයි.
  • ක්‍රොස් ෆ්ලැට්ෆොර්ම් සොෆ්ට්වෙයාර් ක්‍රියාත්මක වීම...
මේ ක්‍රමය මගින් සිදුවන්නේ වින්ඩෝස් විවිධ සංස්කරණයන් සංඳහා නිර්මාණය කල වැඩසටහන් එක්ව ක්‍රියත්මක කල හැකි වීමයි. එනම් වින්ඩෝස් 9,RT,වින්ඩොස් ෆෝන් හා X-Box සඳහා සැකසූ වැඩසටහන් වින්ඩෝස් 9 හි දී ක්‍රියාත්මක කල හැකිය.
මීට අමතරව චලන සංවේදී (Gesture Control) හැකියාව වැනි පහසුකම් ද මේ සමග පැමිණෙන බවට කට කතා පැතිරී තිබේ. 
     මින් බොහෝ කරුණු මයික්‍රෝසොෆ්ට් සමාගමේ ඉදිරි වැඩසටහන් ගැන කියනා බිල්ඩ් වින්ඩෝස් සමුලුවේදී හා මයික්‍රෝසොෆ්ට් සමාගමේ සේවකයින් සිය බ්ලොග් අඩවි වල පලකල දේය. එම නිසා මේ කරුණු නිවැරදි වීමට ඇති අවස්ථාව ඉහලය.

September 25, 2014

ඔඩෑසිටි මෘදුකාංගය



     සින්දුවක් එහෙම නැතිනම් වෙන මොකක් හරි ඕඩියෝ ට්‍රැක් එකක් කපලා කොටලා අපිට ඕනි විදිහට හදා ගන්න සොෆ්ට්වෙයා එකක් කොම්පියුටරේ තියෙන එක හොඳයි. අන්න ඒකට හොඳ සොෆ්ට්වෙයා එකක් තමයි ඔඩෑසිටි (Audacity) කියන්නේ. පැච් කිරිලි ක්‍රැක් කිරිලි ඕනිත් නෑ. මේක නොමිලේ දෙන ඕපන්සෝස් සොෆ්ට්වෙයා එකක්.
ඔඩෑසිටි කියන්නේ අද විකුණන්න තියෙන ඕඩියෝ එඩිටින් සොෆ්ට්වෙයා තරම්ම උසස් ගණයේ ඕඩියෝ එඩිටරයක්. WAV, AIFF,Ogg,FLAC, Mp3 වගේ විවිධ ෆෝර්මැට් වල ඕඩියෝ ෆයිල් මේකට ලබා ගන්න පුලුවන්. ඕඩියෝ ට්‍රැක් කිහිපයක් අරන් ඒවා මිශ්‍ර කරන්න (mixing) , හඬ රෙකෝඩ් කරන්නත් පුලුවන්. රෙකෝඩින් කරන කොට මයික් වල හඬ පාලනය වගේම ඕඩියෝ ක්ලිප් වලට යොදන්න ඉෆෙක්ට් ‍රැසක් මේ සොෆ්ට්වෙයා එකේ තියෙනවා. තව හොඳ දෙයක් තියෙනවා මේකෙ. ඒ තමයි වැඩ කරකර ඉන්න කොට හදිසියෙ වත් ක්‍රෑෂ් වුනොත් එහෙම ඒවා රිකවරි කරගන්නත් පුලුවන්.මේ කිව්වේ මේ සොෆ්ට්වේයා එකේ තියෙන ඒවායෙන් ටිකක් විතරයි. මේකෙන් වැඩකරන්න ලේසියි, ඉගෙන ගන්න අමාරුත් නැහැ.
ඇත්තෙම්ම ඔඩෑසියිටි එක අනිත් සොෆ්ට්වෙයා වලටත් වඩා හොඳයි. මම එහෙම කියන්නේ අත්දැකීමෙන්.පවර් ඩිරෙක්ටර් කියන වීඩියෝ එඩිටර් එකට ලැබෙන wav editor එකට වඩා මේක හොඳයි. මෙහෙම කිව්වට බෑනේ ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ කොහොමද කියලා....


September 21, 2014

සිංහල තේරුම එවේලේම....

       මේ කතා කරන්නේ පොඩි සොෆ්ට්වෙයා එකක් ගැන. ඇත්තටම කිව්වොත් මේක Google Chrome වෙබ් බ්‍රව්සර් එකට එන බ්‍රව්සර් එක්ස්ටෙන්ශන් එකක්. අපි ඉන්ටනෙට් යනකොට හමුවෙන ගොඩක් වෙබ් සයිට් තියෙන්නේ ඉංග්‍රීසියෙන්. ඉතින් මේ වෙබ් සයිට් කියවන කොට තියෙන වචන වලින් සමහරක තේරුම අපි දන්නේ නැති වෙන්න පුලුවන්. එහෙමයි කියලා වැඩේ අතාරින්න පුලුවනෑ. ඩික්ෂනරියකින් මේ වචන බල බලා කියවන එකත් එපා කරපු වැඩක් නේ. මේ එක්ස්ටෙන්ශන් එක ඊට පිලියමක් වේවි..
එක්ස්ටෙන්ශන් එකේ නම තමයි Sinhala Meaning . මේක ගන්න කරන්න ඕනි පොඩි දෙයයි. මෙතන ක්ලික් කරලා එන වෙබ් පි‍ටුවෙ තියෙන Free කියන බට්න් එක ක්ලික් කරන්න.
       ඊට පස්සෙ ඒක ඩවුන්ලෝඩ් වෙයි . දැන් බ්‍රව්සර් එකෙන් Confirm New Extension කියලා පොඩි පොප් අප් වින්ඩෝ එකක් ඇවිල්ලා Add "Sinhala Meaning"? කියලා අහයි. 
       දැන් ඒකට පහලින් තියෙන ටික් එක දාල Add බට්න් එක ක්ලික් කරන්න. දැන් වැඩේ හරි. ඉංග්‍රීසි වචන තියෙන වෙබ් පෙජ් එකකට ගිහින් වචනයක් ලඟින් මව්ස් පොයින්ටරය තියලා බලන්නකෝ. වැඩේ හරිනම් වචනෙ තේරුම ඊට උඩින් පෙන්නයි... ප්‍රොබ්ලම් එහෙම තිබුනොත් කොමෙන්‍ටුවක් දාන්නකෝ! මතක තියාගන්න මේක ක්‍රෝම් එකට එන එක්ස්ටෙන්ශන් එකක්..



September 20, 2014

අකීකරු බ්ලොග්ස්පොට් මෙල්ල කරමු!

     සමහර වෙලාවට අපිට බ්ලොග් වලට ඇක්සෙස් වෙන්න බැරුව යනවා. ඒ කියන්නේ .blogspot.com කියන ඩොමේන් එකට ඇක්සෙස් වෙන්න බැරුව යනවා. සමහර අයට නම් මේ අත්දැකීම ඇති. බ්‍රව්සර් මාරු කරලා ට්‍රයි කලත් වැඩේ හරියන්නේ නෑ. අන්න ඒ වෙලාවට මෙන්න මේ ක්‍රමයෙන් බ්ලොග් බලාගන්න පුලුවන්.
කරන්න තියෙන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. .com වෙනුවට .sg කියල ටයිප් කරලා යන්න විතරයි. උදාහරණයක් විදිහට http://techsayura.blogspot.com වෙනුවට http://techsayura.blogspot.sg කියන ඇඩ්‍රස් එකෙන් යන එක. මේක මමත් අහම්බෙන් දැනගත්ත එකක්. මොනව හරි ගැටලුවක් තියෙනවනම් කොමෙන්ට් එකක් දාන්නකෝ..

September 18, 2014

යුනික්ස් (UNIX)

අද භාවිතයේ ඇති සෑම ඩෙස්ක්ටොප්, ලැප්ටොප් හෝ ටැබ්ලට් පරිගණක උපාංගයකටම ක්‍රියාත්මක මෙහෙයුම් පද්ධතියක් ඇත. මේ මෙහෙයුම් පද්ධති අතරින් බොහෝමයක් බිහිවීමට මග පෑදූ එක් විශිෂ්ඨ ගණයේ මෙහෙයුම් පද්ධතියක් තිබේ. ඒ යුනික්ස් (UNIX) ය. දැනට ලොව පුරා ජනප්‍රියව ඇති මෙහෙයුම් පද්ධති සිය ආරම්භයේදී කෙදිනක හෝ යුනික්ස් හි අභාෂය ලබා තිබේ. ඇතැම් ඒවා යුනික්ස් ප්‍රධාන කේත සටහන මතම පදනම් වූ ඒවාය.
      යුනික්ස් නිර්මාණය කරනු ලැබුවේ කෙන් තොම්සන්(Ken Thompson) සමග ඩෙනිස් රිච් (Dennis Ritchie) විසින් මීට අවුරුදු 45 කට පෙර,එනම් 1969 වසරේදීය. ඔවුහු මෙය නිර්මාණය කලේ විකිණීමේ අදහසින් හෝ ප්‍රසිද්ධ කිරීමට නොවේ. එයට අපූරු කතාවක් තිබේ...
1960 වසරේදී භාවිතයේ තිබූ මේන් ෆ්‍රේම් පරිගණකයක් වූ GE 645 ට සරිලන උසස් ගණයේ මෙහෙයුම් පද්ධතියක් තැනීමට ඇමරිකාවේ මැස්චුසෙට් තාක්ෂණ ආයතනය, බෙල් ලැබ්ස් (AT & T Bell) ආයතනය උත්සහයක නිරත විය. එහි ප්‍රතිඵලයක් ලෙස මල්ටික්ස්(Multics) නම් මෙහෙයුම් පද්ධතියක් බිහිවිය. විකිණීමේ අටියෙන් නිපදවූද එය සාර්ථක නොවීය. මේ කාර්ය්‍යේ නිරතව සිටි මෘදුකාංඟ ඉංජිනේරුවෙකු වූ කෙන් තොම්සන් ස්පේස් ට්‍රැවල් නම් (Space Travel) පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කලේය. නමුත් එය මේන් ෆ්‍රේම් පරිගණක වල නිසි ආකාරව ක්‍රියාත්මක නොවිණි. මේ නිසා එයට ගැලපෙන නව මෙහෙයුම් පද්ධතියක් තැනීමට ඔහුට සිතුනි. ඔහුගේ මල්ටික්ස් ව්‍යාපෘතියේදී මිතුරෙකුව සිටි ඩෙනිස් රිච් සමග එක්ව DEC PDP-7 පරිගණකයට ගැලපෙන ලෙස මේ මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කලේය. 
හුදෙක් ක්‍රීඩාවක් ක්‍රියාත්මක වීම සඳහා නිර්මාණය කරන ලද මේ මෙහෙයුම් පද්ධතිය නව මාදිලියේ නව මෙහෙයුම් පද්ධතියක් ලෙස දියුණු කිරීමේ කටයුතු ඇරඹුණේ මෙය ඉතා හොඳ තත්වයක තිබුණු බැවිණි. ඉන් පසු මෙයට අලුත් නමක් ද යෝජනා විය. ඒ යුනික්ස් ය. 1971 දී බෙල් ලැබ් ආයතනය යුනික්ස් දියුණු කිරීමට මුදල් ලැබිණි. ඉන් පසු යුනික්ස් ජනප්‍රිය ඇරඹිනි. විශ්ව විද්‍යාල, තාක්ෂණික ආයතන ආදී ආයතන වල යුනික්ස් ඉතා ජනප්‍රිය විය. යුනික්ස් සතුව තිබූ නම්‍යශීලී බව හා භාවිතයේ පහසුව ඊට හේතුව විය.
මයික්‍රෝසොෆ්ට් සමාගම ඉදිරිපත් කල සෙනික්ස්(Xenix), සන් මයික්‍රෝසිස්ටම් හි සන් ඕඑස් (Sun OS), ඇපල් සමාගමේ ආරම්භක මෙහෙයුම් පද්ධතිය වන නෙක්ස්ට්(NeXT) මතු නොව විවෘත කේත(Open Source) මෙහෙයුම් පද්ධතියක් ලෙස ලෝකයේම ප්‍රසිද්ධ වන ලිනක්ස් (Linux) පවා නිමවා ඇත්තේ යුනික්ස් හි ප්‍රධාන කේත සටහන ඇසුරෙන් තැනූ වෙනත් මෙහෙයුම් පද්ධති ඇසුරිනි.
කෙන් තොම්සන් හා ඩෙනිස් රිච් යන උදාර මිනිසුන් දෙදෙනාගේ ඒ උදාර වෑයම නිසා බිහි වූ යුනික්ස් අද පරිගණක ලොව නමක් දිනා සිටින බොහෝ මෙහෙයුම් පද්ධති වල තිඹිරි ගෙය විය. මේ නිසා ඔවුනට ටූරින් (Turing Award) හා තාක්ෂණය පිලිබඳ ජාතික සම්මානය(Natinal Award for Technology) පවා හිමි විනි.

September 14, 2014

වට්ස් ඇප් මිලදී ගැනීමට ෂුකර්බර්ග් සැරසෙයි..

කවුරුත් දන්න මිතුරු හවුලක් වෙන ෆේස් බුක් එකේ ලොක්කා, ඒ කියන්නේ මාර්ක් ෂුකර්බර්ග් දැන් අලුත් වැඩකට අත ගහලා. ඒ තමයි මැසේජින් සොෆ්ට්වෙයාර් එකක් විදිහට ස්මාර්ට් ෆෝන් වල ප්‍රසිද්ධ වට්ස් ඇප්(Wats App) එක ෆේස් බුක් හි මැසේජින් ඇප් එක විදිහට යොදා ගැනීමට තීරණය කිරීමයි.
මේ පිලිබඳ සඳහන් කල ෂුකර්බර්ග් පවසා සිටියේ "මම හිතන්නේ වට්ස් ඇප් කියන්නේ ගෝලීය සන්නිවේදන කරලියක් කියලයි. ඒ නිසා මම හිතනවා ෆෙස්බුක් හි සිටින බිලියන ගණනක් වූ සෙනගක් එකිනෙකා හා සම්බන්ද කිරීමට වට්ස් ඇප් සුදුසුයි කියලා.." යනුවෙනි.මින් අදහස් වන්නේ දැනට ෆේස් බුක් හි ලබා දෙන මැසේජින් ඇප් එක වන ෆේස් බුක් මැසෙන්ජර් (Facebook Messenger) ඇප් එක ඉවත දමන බව නොවේ. භාවිතයේ ඇති ෆේස් බුක් මැසෙන්ජර් වැඩසටහන සමගම වට්ස් ඇප් එක අමුණා එවන බවයි. ඩොලර් බිලියන 19 කට (19$) වට්ස් ඇප් වැඩසටහන මිලදී ගැනීමට දැනටමත් කටයුතු කර ඇති බව ආරංචිය.
ෂුකර්බර්ග් මේ බව පවසා තිබුනේ මෙක්සිකෝ නගරයේ තිබූ අවස්ථාවක දී ය. මෙම උත්සවය සංවිධාන කොට තිබූ ඇමරිකා විදුලි සංදේශ අධිකාරියේ සභාපති හා ෆේස්බුක් හි කැඳවුම් කරුවා වන කා(ර්)ලොස් ස්ලිම් අදහස් දක්වමින් කියා සිටියේ " ලෝකයේ මිනිසුන් අන්තර්ජාලය හා සම්බන්ද කිරීමේ ලොකු වගකීමක් අපට තියෙනවා, මේ ඉ‍ටුකරන්නේ අන්න ඒ වගකීමයි" යනුවෙන් පැවසීය.
       වට්ස් ඇප් මුලින්ම ආවේ 2009 වසරේදීය. එදා පටන් මේ කුඩා වැඩසටහන ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වී ගියේ ය. දැන් ෂුකර්බර්ග් සැරසෙන්නේ මේ කුඩා වැඩසටහනෙන් ප්‍රයෝජනයක් ලබා ගන්නටය. කෙසේ නමුදු වට්ස් ඇප් සමග තරඟ කරන්නට වයිබර් (Viber), ස්කයිප් (Skype), ඇපල් අයි මැසෙන්ජර් (iMassenger) හා ගූගල් හැන්ගවුට් (Hangout) යන ඒවා ද තිබේ. මෙසේ තරඟයක් තිබීමෙන් වැඩි වාසියක් සැලසෙනේ ඒවා භාවිතා කරන ජනයාටය. එකි නෙකා පරයා නැගී සිටීමට අලුත් අලුත් පහසුකම් හඳුන්වා දෙන මේ නිපැයුම් වලින් නියම ප්‍රයෝජන ගන්නේ මේ ජනයා වීම ඊට හේතුවයි..

September 7, 2014

නව iPhone 6 හි පැමිණීම...

      ඇපල් සමාගමේ ස්මාර්ට් ෆෝනය වන අයිෆෝනයේ (iPhone) දැනට තිබෙන්න උපාංඟය වන්නේ iPhone5 යි. එහි නවතම සංස්කරණය වන iPhone6 එලි දැක්වීමට නියමිතව ඇත්තේ මෙම මස 9 වන දායි (9.9.2014). මේ නව උපාංගය සතු විශේෂතා ගැන දැන් නොයෙක් කතා පැතිරී යමින් තිබේ. මේ ලිපියෙන් ගෙනඑන්නේ එම අලුත් විස්තරයි.
වොල් ස්ට්‍රීට් ජර්නලය හා නිව් යෝක් ටයිම්ස් පුවත් පත් වලට අනුව ඉදිරිපත් කිරීමේ උළෙලේ දී අඟල් 4.7 හා 5.5 යන අයි ෆෝන් සංස්කරණ ඉදිරිපත් කරයි. එසේම මේ උත්සවය ඇපල් නිල වෙබ් අඩවිය  ඔස්සේ සජීවීව විකශයට නියමිතය. 

recode.net  වෙබ් අඩවියට අනුව මෙහිදී ඇපල් සමාගමේ A8 ඔන්බෝඩ් ප්‍රොසෙසරය පිළිබඳ හඳුවන බවයි. කෙසේ වෙතත් ඇපල් සමාගම විසින් පෙර ඉඟි ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත.
දැනට ඉඟි ලැබී ඇති ආකාරයට නව අයි ෆෝනයේ ඇති විශේෂතා අතර වැඩි ධාරිතාවක් සහිත බැටරියක් සහිතව පැමිණෙනු ඇති. ඒ අනුව අඟල් 4.7 අයි ෆෝනය සමග 1800mAh බැටරියකුත් , අඟල් 5.5 අයි ෆෝනය සමග 2500mAh බැටරියකුත් පැමිණෙනු ඇති. මෙය නිශ්චිත අගයන් නොවන අතර පෙර පැමිණි ඒවා සමග සසඳා ලබා ගත් අගයන් වේ. එනම් පෙර සංස්කරණ වල 1500mAh - 1700mAh ට වැඩි විණි. ඒ යමින් මේ නව අගයන් ඉදිරිපත් කොට ඇත. ඇපල් සමාගමෙන් අත් වැරදීම් වලින් පිට වූ පින්තූර වලට අනුව බැටරිය සැම්සුන්ග් ගැලැක්සි නොට් 3 හි බැටරිය තරම් වනු ඇති.
නව උපාංඟය වේගවත් LPDDR4 RAM මතකයක් සහිත එකක් වනු ඇති. නමුත් එහි ධාරිතාව 1GB තරම් වනු ඇති. එයට හේතුව නව A8 ප්‍රොසෙසරය සමගින් ක්‍රියා කිරීමේදී බැටරි බලය ඉතිරි කර ගැනීමටයි.
තවත් වැදගත් කරුණක් වන්නේ මෙහි ඇති තිරය තරමක් විශාල වනු ඇති බවයි. එසේම එහි දර්ශනය වන රූපාවලි ඉතා පැහැදිලි හා තීවර්‍ (1920px x 1080px) වේ.

  මීට අමතරව පහත විශේෂතා ද ඇති බව විවිධ වෙබ් අඩවි මගින් අනාවැකි පළ කොට තිබේ.

  • නවතම iOS8 මෙහෙයුම් පදධතිය

  • සූර්‍ය බලයෙන් බැටරිය ආරෝපණය වීම

  • ලඟ ඇති උපකරණ හඳුනාගැනීමේ හැකියාව(Near Field Communication (NFC)),

  • නව Wi-Fi 802.11 තාක්ෂණය,
  • වායු පීඩන මානයක් හා පීඩන මානයක්,
  • වැඩි දියුණු කල කැමරාව හා 128GB අභ්‍යන්තර මතකයක්,
  • ගණකම මිලිමීටර් 6 හෝ 5.5 ක් පමණ වනු ඇත,
  • HD හඬ හා VoLTE ට සහය දැක්වීම
  • අතින් සන් කිරීමෙන් විධාන දීමේ හැකියාව(gesture controls)
මේවා විවිධ වෙබ් අඩවි හා පුද්ගලයන් විසින් ඉදිරිපත් කල අනාවැකි වන අතර නව අයි ෆෝනයේ ගති ගුණ හරියටම දැන ගත හැකි වන්නේ ලබන 9 වනදාටය.



September 5, 2014

මෝටර් රථ සඳහා එන Navdy උපාංගය

        මෝටර් රථයේ ගමන් කරමින් සිටින විට දුරකථන ඇමතුමක් ලැබුණ විට බොහෝ දෙනා කරන්නේ ගමන් කරමින්ම එයට ප්‍රතිචාර දැක්වීමයි. මෙය එතරම් සුදුසු ක්‍රියාවක්  නොවේ. ඇතැම් විට එය අනතුරක මුලද විය හැකිය.


    දැන් එයට විසඳුමක් පැමිණ තිබේ. ඒ නැව්ඩි (navdy) නම් උපාංගයයි. මෙය විනිවිද පෙනෙන අඟල් 5.1" තිරයක් සහිත හුරු බුහුටි උපකරණයකි. තමාගේ මෝටර් රථයේ සුක්කානමට ඉදිරියේ ඇති ඩෑශ් බෝඩ් එක මත මේ උපකරණය තබා තමාගේ ජංගම දුරකථනය එය සමග සම්බන්ධ කල  විට එහි ඇති විනිවිද පෙනෙන තිරයට කුඩා ප්‍රොජෙක්ටරයක් මඟින් දර්ශන ලබා දේ.දැන් තමාගේ ඇස් මාර්ගයෙන් ඉවතට නොගෙන දුරකථනය සමග වැඩ කිරීමට හැකිය. මේ සමග වැඩ කිරීමේදී බොත්තම් එබිය යුතු නැත.කල යුත්තේ අතින් සන් කිරීම මගින් හෝ කටහඬ මගින් විධනයන් ලබාදීමය (Gesture Control).
නැව්ඩි උපාංගය සරල උපකරණයක් ලෙස පෙනුනද එය ඉහල මට්ටමේ තාක්ෂණික උපකරණයකි. අඟල් 5.1" තිරයක් (HUD- Hed Up Dishplay) සහිත මේ උපකරණයට දසුන් ලබාදීමට ඉහළ ගණයේ ප්‍රොජෙක්ටරයක් ඇත. ඩුවෙල්කෝ ප්‍රොසෙසරයක් මඟින් පණ ලබන මෙය ඇන්ඩ්‍රොයිඩ් 4.4 මෙහෙයුම් පද්ධතිය මගින් ක්‍රියා කරයි. 

    තවද මෙහි ඇති ස්පීකරය හා මයික්‍රෆෝනය ශබ්ධ විකෘති වීම් ඉවත් කිරීමේ තාක්ෂණයෙන්(speaker and microphone with noise canceling DSP) යුක්ත වන අතර දුරකථනය සමග සබඳතා පැවැත්වීමට නවතම බ්ලූටූත් 4.0 හා වයි-ෆයි (WiFi (802.11 b/g/n), Bluetooth 4.0/LE)  වලින් සමන්විත මෙය සෙලවීම වැලැක්වීමට කාන්දම් කොටසකින්ද යුක්තය. මීට අමතරව ඇක්සලෝමීටරයක්, මාලිමාවක්, ආලෝක තත්වය මැනීමේ උපකරණයක් ද මීට අයත් අතර ඇන්ඩ්‍රොයිඩ් හා ඇපල් මෙහෙයුම් පද්ධති සමග හොඳින් ක්‍රියා කරයි.
 දුරකථනයෙන් ඇමතුම් ගැනීමට අමතරව මිතුරන් සමග චැට් කිරීම ගමන් මග සොයාගැනීම වැනි කටයුතුද තම මෝටර් රථයේ පරිගණකය සමග සම්ම්බන්ධ කොට රථයේ වේගය, ඉන්දන මට්ටම බලා ගැනීම වැනි කටයුතුද ඉතා පහසුවෙන් ඉ‍ටුකල හැක.
මේ විශිෂ්ට උපකරණය නිපදවනු ලැබුවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි ව්‍යාපාරිකයෙකු වන ඩුග් සිම්සන්(Doug Simpson) හා නව නිර්මාණ කරුවකු වන කාල් (Karl Guttag) යන දෙදෙනාගේ මූලිකත්වයෙන් හා දක්ෂ කණ්ඩායමක සාමූහික වෑයමෙනි.

      ඔවුන්ට නැව්ඩි උපාංගය නිර්මාණයට අවුරුද්දක් පමණ කාලයක් ගතවිය.මෙයට ලබා දී ඇති අන්තර්ජාතික මිල $299 කි.

එකතුවෙන්න...

 
         
 

tech එකේ ඉන්න අය

Contact Form

Name

Email *

Message *

ජනප්‍රිය ලිපි

ආව ගිය අය

page visitor counter

ලිපි කියවා ඇති ගණන

tech සයුර Copyright © 2014 - All rights reserved.